නීති විරෝධී වකුගඩු ජාවාරමක් කළ පකිස්ථාන දොස්තර අල්ලයි

269

පුද්ගලයන් 328කගේ වකුගඩු බලහත්කාරයෙන් ඉවත් කර ධනවත් වකුගඩු රෝගීන්ට බද්ධ කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය මිනිස් අවයව ජාවාරම් ජාලයක නායකයා වූ වෛද්‍යවරයකු ඇතුළු පුද්ගලයන් 08 දෙනකු පකිස්ථාන පොලිසිය විසින් නැගෙනහිර පන්ජාබ් ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මිනිස් අවයව ජාවාරම් ජාලයේ ප්‍රධානියා වන වෛද්‍ය ෆාවඩ් මුක්තාර් මෙයට පෙර පස් වතාවක් නීති විරෝධී අයුරින් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමේ වරදට පොලිස් අත්අඩංගුවට පත්ව ඇතත් එම සැම අවස්ථාවකදීම ඔහු ඇප මත නිදහස්ව තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

පකිස්ථානය විසින් පාලනය කරන නැගෙනහිර පන්ජාබ් ප්‍රාන්තයේ හා කාශ්මීරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කර ඇති මෙම නීතිවිරෝධී වකුගඩු සැත්කම් සිදු කිරීම සඳහා චූදිත වෛද්‍යවරයාට සැත්කම් සහයකයා වශයෙන් සහය වී ඇත්තේ මෝටර් රථ කාර්මික ශිල්පියකු වන අතර ඔහුද අත්අඩංගුවට පත් පිරිස අතර සිටින බව වාර්තා වේ. පුද්ගලික නිවාස තුළ රෝගියා නොදැනුවත්ව සිදු කර ඇති මෙම නීතිවිරෝධී වකුගඩු බද්ධ කිරීමේ සැත්කම්වලට ලක් වූ තිදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. වකුගඩු සැත්කම් ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට පත්ව සිටින සැකකාර වෛද්‍යවරයා පුද්ගලයන්ගෙන් නීතිවිරෝධී අයුරින් ඉවත් කරගෙන ඇති වකුගඩුවක් ධනවත් රෝගීන් සඳහා අලෙවි කර ඇත්තේ පකිස්ථාන රුපියල් මිලියන 10ක් දක්වා (ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ විසිදහසක්) වන මුදලකට බව අනාවරණය වී තිබේ. පාකිස්තානය 2010 වසරේදී මිනිස් අවයව වාණිජමය අරමුණු මත අලෙවි කිරීම නීතියෙන් තහනම් කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන්ට දඬුවම් වශයෙන් වසර 10 ක සිරදඬුවමක් හා විශාල වන්දි මුදලක් ගෙවීමට සිදු වනු ඇතැයි පන්ජාබ් ප්‍රාන්ත බලධාරීහු පවසති.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment