පටන් ගත්ත විදිහට අවසන් කරන්න බැරි වුණා – පැතුම් බිඳුණු හැටි පැතුම් කියයි

380

ඔස්ට්‍රේලියාව සමග ලක්නව් හි පැවැති ලෝක කුසලාන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත්තද එම සාර්ථකත්වය පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා ශ්‍රී ලංකාවට පරාජය උරුම වූ බව ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.

තරගයක් ජයග්‍රහණය කිරීම සඳහා එවැනි තණතීරුවක ලකුණු 300ක් පමණ ලබාගත යුතුව තිබූ නමුත් ශ්‍රී ලංකාවට එම ඉලක්කයට ළඟාවීමට නොහැකිවීමෙන් අත් වූ මෙම පරාජය පිළිබඳව කනගාටුවට පත්වන බවද ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා එහිදී පැවසීය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කඩුල්ල සඳහා ලකුණු 125 ක සම්බන්ධතාවයක් පැවැත් වූවද අනතුරුව සියලුදෙනා ලකුණු 209 කට දැවී ගියහ.

අපේ ඉනිමේ මැද පන්දුවාරවල ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් නියමිත එල්ලයට සහ ඉලක්කයට පන්දු යැව්වා. මම හිතනවා අපේ පිතිකරුවන්ට ඒ කාලය හරියට කළමනාකරණය කරගන්න පොඩ්ඩක් අමාරු වුණා. ඒ ටික අපි හරියට ගැහුව නම් ලකුණු 300ක් විතර අපිට ලබාගන්න තිබුණා. ඕනෙම කෙනෙක් දන්නවා ඉන්දියාවේ තණතීරුවල හොඳින් ලකුණු තිබෙන බව. පළමු තරග දෙකේදීම අපි ලකුණු 300 ඉක්මවා ලබාගත්තා. මේ තරගයේදී පමණයි අපිට ඒක කරන්න බැරි වුණේ.

ලක්නව් හි පෙරේදා පැවති තරගයේ දී එම ලකුණු 210ක ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 35.2කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහනය ලබාගත් අතර ඒ සමගම තරගාවලියේ අඛණ්ඩව තෙවැනි පරාජයද ශ්‍රී ලංකාවට උරුම විය.

ක්‍රීඩාංගණයට විදුලි ආලෝකය ලැබීමෙන් පසු ඔස්ට්‍රේලියා පිතිකරුවන් හොඳින් ලකුණු කරා ගිය බවත් පන්දු යවන්නන් ද මීට වඩා හොඳින් ක්‍රීඩා කළේ නම් ශ්‍රී ලංකාවට තරගයේ ප්‍රතිඵලය වෙනස් කර ගැනීමට ඉඩ තිබූ බවද පැතුම් සඳහන් කළේය.

කණ්ඩායමක් ලෙස සෑම තරගයකටම පිවිසෙන්නේ ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුණෙන් බවත් ඇතැම් අවස්ථාවල දී එය සාර්ථක නොවන බවත් පළමු තරග දෙකේ පරාජයට පත් වූවද කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩාකළ බවද පැතුම් එහිදී පැවසීය.

මම හිතනවා ක්‍රිකට් කියන්නේ මෙහෙම තමයි ඉතින්. අපි පළමු තරග දෙක හොඳට ක්‍රීඩා කළා. ඒත් සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. අපි දැන් මානසික මට්ටමෙන් හොඳ තැනක ඉන්නවා. අපෙන් කණ්ඩායමට දෙන්න පුළුවන් උපරිම දෙය කණ්ඩායමට දීලා අපේ වැරදි හදාගෙන ඉදිරි තරගවලට යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අදහස් දැක්වීමට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ ද ඉදිරිපත් වූ අතර එක්දින ලෝක කුසලාන තරගයකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නකු දැක්වූ දෙවැනි හොඳම දක්ෂතාව දැක්වීමට ඩිල්ෂාන් එම තරගයේදී සමත් වූයේය.

එම ලැයිස්තුවේ ඔහුට ඉදිරියෙන් සිටින චමින්ද වාස් 2003 ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 34 කට කඩුලු 3ක් දවාගෙන තිබෙන අතර ඩිල්ෂාන් මධුසංඛ පෙරේදා තරගයේදී ලකුණු 38 කට කඩුලු 3ක් දවා ගත්තේය.

“පුහුණුවීම්වලදී මම හුඟක් මහන්සි වෙනවා අලුත් දේවල් ඉගෙන ගන්න. පුහුණුකරුවන්ගෙන් ඒ සඳහා මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ හැකියාව තමයි අලුත් පන්දුව දෝලනය කරන එක. මම හිතනවා මේ තරගයේදී ඒකෙන් ප්‍රයෝජන ගන්න මට පුළුවන් වුණා කියලා. ඒ වගේම තමයි රෑට පන්දු යවද්දී පින්නත් එක්ක පන්දුව දෝලනය වෙන ප්‍රමාණය වැඩියි. මේ තරගයේදී ඒකත් හුඟක් බලපෑවා.මට හොඳ සහයෝගයක් ලැබුණා නම් තරගය වෙනස් කරන්න අවස්ථාව තිබුණා යැයිද ඩිල්ෂාන් සඳහන් කළේය.”

කුෂාන් සුබසිංහ – ලක්නව් නුවර සිට

advertistmentadvertistment
advertistmentadvertistment