‘පන්දම්’ නැති ඕඅයිසීලා පත්කිරීම ඇරැඹෙයි

1459

එකම පොලිස් ස්ථානයේ වසර 3ක සේවා කාලයක් සම්පූර්ණ කළ පොලිස් ස්ථානාධිපතිවරුන් ඉවත් කර දේශපාලන පත්වීම්වලින් බැහැරව නව ස්ථානාධිපතිවරුන් ඒ සඳහා පත්කිරීම පොලිස් මූලස්ථානය විසින් ආරම්භ කර ඇත.

ජාතික පොලිස් කොමිසමේ උපදෙස් සහ නියෝග මත පොලිස්පතිවරයා විසින් මෙම කටයුත්ත මේ වනවිටත් ආරම්භ කර තිබේ.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ නව ක්‍රමවේදයක් යටතේ මෙම කටයුත්ත ක්‍රියාත්මක කර තිබෙන බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කීය.

දේශපාලනඥයන්ගේ බලපෑම් මත, මන්ත්‍රීවරයාගේ ලියුමට පොලිස් ස්ථානාධිපතිවරුන් බහුතරයක් පත්කර ඇති බවට පසුගිය කාලයපුරා චෝදනා එල්ල වී තිබිණි.

පොලිස්පතිවරයා පවා මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.

එහෙත් නව පොලිස් කොමිසම පිහිටුවීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කිරීමේ සම්පූර්ණ බලය තම කොමිසම වෙත ලබාගෙන ඇත.

ඒ අනුව ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කර දේශපාලන බලපෑම්වලින් තොරව දක්‍ෂ කාර්යශූර පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනු ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment