පරිසරය රැකගැනීමේ පණිවිඩය අරන් ඔකඳ සිට කතරගමට ගිය පාද යාත්‍රාව…

202

මේ පෙරහැර සමය යි. පිළිවෙළින් කතරගම සහ මහනුවර නගරවල වීදි ජනී ජනයා ගෙන් පිරී ඉතිරී යන සමය යි. යම් යම් අයට අලි කරුණාව පහළ වන්නේත් මේ සමයේ යි. චිකන්, පෝක් හෝ බීෆ් නැතුව කෑම වේලක් කන්න බැරි ඔවුන්ගේ ව්‍යාජ සත්ව කරුණාව කෙසේ වෙතත්, ඉතාමත් අවංකව මස් මාංශ අනුභවයෙන් මෙන් ම මත්පැන් සහ දුම් පානයෙන් ද වැළකී, පේවී, දේවාශිර්වාදය ලබා ගනු වස් කිලෝ මීටර් 100 කට අධික දුරක් පා ගමනින් ගමන් කරන සැලකිය යුතු පිරිසක් මෙරට සිටින බව ලෝකයාට හඬ ගා කියන මහා සංස්කෘතික මංගල්‍යය වන්නේ හින්දු බැතිමතුන් විසින් ඉතාමත් කැපවීමෙන් සිදු කරනු ලබන පාද යාත්‍රාව යි. කතරගම ඇසළ පෙරහැරට සහභාගි වීමේ අරමුණින් පැමිණෙන මෙම පිරිසට මෙන් ම අනෙක් වනලෝලීන්ටත් කුමන හා යාල වනෝද්‍යාන මැදින් පා ගමනින් ගමන් කරන්නට ලැබෙන්නේ සති දෙකක් වැනි මෙම කෙටි කාල සීමාව තුළ පමණි.

පරිසරය රැකගැනීමේ පණිවිඩය අරන් ඔකඳ සිට කතරගමට ගිය පාද යාත්‍රාව…

යාපනය, පේදුරුතුඩුව වැනි උතුරු ශ්‍රී ලංකාවේ මුදුනේ සිට පයින් ම පැමිණ මීට සහභාගි වන හින්දු භක්තික සැදැහැවතුන් පිරිසක් සිටියත්, බොහෝ දෙනෙක් මෙම පාද යාත්‍රාව හා එක් වන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් පානමට නුදුරු ඔකඳ දේවාලය අසලිනි.

සංචාරයට භක්තිමත් පිරිසක් වශයෙන් අපට ද මෙම දැවැන්ත ආගමික සංස්කෘතික ඉසව්වට සහභාගි වී එම අත්දැකුම ලබා ගැනුමට කලෙක පටන් උවමනාව තිබුණත්, වෙසෙසින් ම රැකියා ස්ථානවලින් නිවාඩු ලබා ගැනීමට ඇති අපහසුව නිසා ම වසරින් වසර එය යටපත් කර ගැනීමට සිදු විය. කෙසේ වෙතත්, මෙවර මගේ වනලෝලී සංචාරක හිතවතුන් දෙපළක් වන රසික සහ ජගත් සමග පසුගිය ජුනි 14 දා රාත්‍රී 8.30ට කොළඹින් අක්කරෙයිපත්තු බලා දිවෙන ලංගම බස් රථයට ගොඩ වූයේ එම අරමුණ සාක්‍ෂාත් කර ගැනීමේ අදිටන ඇති ව යි.

පසු දා පාන්දර 4 පමණ වන විට පොතුවිල් නගරයෙන් බැස ගත් අපි, මාගේ හිතවතකු විසින් පිළියෙල කර දෙන ලද ත්‍රීවීලයක නැගී තවත් නිවෙසකට ගොස් මුහුණ කට සෝදා උදේ සහ දහවල් ආහාරය ද පැසට දමා ගත්තෙමු.

ගහට ගහක් මොරටුවේ දී මුණ ගැහෙනවා යැයි කියන්නා සේ වනලෝලීන් ද වන වදුලුවල දී හමු වන බැවින් අතරමග දී අපට මුණ ගැසුණේ මාගේ තවත් වනලෝලී සංචාරක මිතුරකු වන නාලක ය. ඔහු ද අපගේ ත්‍රී රෝද රියට නංවා ගෙන, පා ගමනේ ආරම්භක ස්ථානය වන ඔකඳ දේවාලය කරා පියෑඹුවේ හැකි තාක් උදයෙන් ගමන පටන් ගැන්ම නුවණට හුරු බැවිනි.

කඳ සුරිඳු පාද ස්පර්ශය ලද ශුද්ධ භූමියක් ලෙස හින්දු බැතිමතුන්ගේ ගරු බුහුමනට ලක් වන ඔකඳ දේවාලයට ඉටු කළ යුතු වතාවත් සිදු කිරීමෙන් අනතුරු ව, දේවාල භූමිය ඔබ්බෙහි පිහිටි කුමන කුරුලු පාරාදීසයේ දොරටුවෙන් වන අරණට පිවිස, වන වියන යටින් වුවත්, ගිනි ගහන අව් කාෂ්ටකේ ඉදිරියට ගමන් කළෙමු. නැඟෙනහිර මුහුදින් මතු වූ හිරු දැන් කෙමෙන් කෙමෙන් අහස් කුස අරක් ගනු පෙනේ. වෙලාව 9 පමණ වුවත් ගතට දැනෙන්නේ මධ්‍යහ්නට ආසන්න සේ ය. වටපිට ගැන ද අවධානය යොමු කළ යුතු ය. සොබා සිරි සේ ම, වන සතුන්, සර්පයන් මෙහි ඕනෑ තරම් සිටිය හැකි බැවිනි. මේ ඔවුන්ගේ නිජභූමිය යි. රිසි සේ සැරිසරන ජය භූමියයි. අපි එහි අමුත්තන් පමණක් වන්නෙමු.

කිලෝ මීටර් 8ක් පමණ ඇවිද ගිය පසු හමු වන “බාඟුරා” නමැති පළමු නැවතුම් පොළ දැන් අප අභියස ය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එතැනට ආරක්‍ෂාව ලබා දෙනු ලබයි. එසේම, ඔවුන් විසින් පාද යාත්‍රාවේ එන බැතිමතුන් වෙනුවෙන් වූ ප්‍රථමාධාර හලක් ද පවත්වා ගෙන යනු ලබයි. පාදයේ මස් පිඩු පෙරළීම් වැනි සුලබ ආබාධ මෙන් ම, විජලනය ඇති වීම, ක්ලාන්තය, හිසේ කැක්කුම වැනි තත්ත්වයන් ඇති වූ බැතිමතුන් මෙතැනින් ප්‍රතිකාර ගනු දැකිය හැකිය. අපගේ කණ්ඩායමේ සගයකුට ද පාදයේ ඇති වූ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට ප්‍රථමාධාර හලට ගිය අතරතුරේ එහි සිටි හමුදා නිලධාරියකු හා කතාවට වැටුණු මට දැන ගන්නට ලැබුණේ මෙම ස්ථානයට ඇති ලොකුම තර්ජනය වලසා බව යි.

බාඟුරා හි නැවතී විවේක ගන්නා හින්දු බැතිමතුනට “හරෝ හරා සාමි” යැයි ආශිර්වාද කරමින් නැවතත් අපි ගමන් ආරම්භ කළේ ඔවුනට මෙන් නිස්කලංක ව සහ නිවාඩුපාඩුවේ මෙම පාද යාත්‍රාවේ යෙදීමට අපට ඉඩහසර නොමැති බැවිනි. එසේ ම, එදිනට අපගේ නවාතැන් ඉලක්කය වන කුඩා කැබිලිත්ත හෙවත් මඩම්තොට වෙත යෑම අත්හළ නොහැකි මෙන් ම විකල්ප ද නොමැති කටයුත්තක් හෙයිනි.

පැයක් පමණ ගමන් කරමින් විනාඩි කීපයක තේ විවේකයක් ලබා ගනිමින් විල්ලු මැදින්, වැව් පිටි සිසාරා ගමන් කරන අපට එහෙමකට වන සතුන් දැක ගන්නට නොලැබුණේ උදේ 11 පමණ සිට සවස 3 පමණ දක්වා වූ කාලය උන් යොදවන්නේ තම තමන්ගේ වන ලැහැබවල විවේකී ව කල් ගත කිරීමට නිසා ය.

නාවික හමුදාව, යුද හමුදාව, ස්වේච්ඡා සංවිධාන ආදිය විසින් සපයා ඇති පානීය ජල ටැංකිවලින් පිපාසය සංසිඳුවා ගනිමින්, දිවා අහර ද ලබා ගෙන වනස්පතියකුගේ සෙවණ යට මඳක් විවේක ගන්නා අපට මීටර 50ක් පමණ ඔබ්බෙන් පාර හරහා ගමන් කළ අලි මවු පුතු දෙපළ හදි නොකළේ පූරුවේ පිනට වන්නට ඇති. ඉන් පසු මුණ ගැසුණු කුළු මී හරක් රංචුව ද අපට ඒ අයුරින්ම සැලකුවේ පූරුවෙ කළ පිනකට නිසා ම මිස වෙන අහවල් දේකට ද!

සවස 6 පමණ වන විට කුඩා කැබිලිත්තට සේන්දු වූ අපි වහ වහා අපගේ කූඩාරම් අටවා ගත්තෙමු. ඉන් පසු ඒ අද්දර පිහිටි කුඹුක්කන් ඔයට පැන දිය නා ගත්තෙමු. දහදියෙන් තෙමී ගොස් දුර්වර්ණ වී තිබූ ඇඳුම් සෝදා ගත්තෙමු. කැලෑ ගමන්වල දී රාත්‍රී කාලයට අත්‍යවශ්‍ය ආරක්‍ෂක පියවරක් වන ගිනි මැලයක් ද අටවා ගත්තෙමු. සුදා ගින්නට නූඩ්ල්ස් අනුභව කළෙමු. පැමිණෙන සියලු දෙනාට ආහාරයෙන් සංග්‍රහ කරන බැතිමත් පිරිස් ද එහි සිටින වග අප කලින් දැන ගත්තේ නම් නූඩ්ල්ස් හදන්නට මහන්සි නොවන්නට තිබුණි.

වන සතුන්ගේ නොයෙක් ශබ්ද අතර රැය පහන් කළ අප පසු දා පාන්දර අවදි වූයේ කුරුල්ලන්ගේ ගී නදට අමතර ව කුඹුක්කන් ඔය හරහා හමන මඳ නල මැද්දේ ය. පාන් පෙති කීපයකින් පාතරාසය සරි කර ගත් අප කුඹුක්කන් ඔය තරණය කරමින් ඊළඟට පිවිසියේ යාල කලාප අංක 2 වෙතට ය.

පරිසරය රැකගැනීමේ පණිවිඩය අරන් ඔකඳ සිට කතරගමට ගිය පාද යාත්‍රාව…
සත්ත්ව ඇට කැබලි

වැඩි දුර යෑමට මත්තෙන් හමු වූ නරි රංචුව අපට ඔලොක්කු කරමින් ඉවතට දිව්වෝ ය. ඉන් මඳ දුරක් ගිය තැන, බිලාල පවුලේ මහ බක්කාගේ පැටවකු අප යන මඟ හරහා ය. අප අතරින් කිසිවකු හෝ තම කැමරාවක් තබා ජංගම දුරකථනයක් වත් අතට ගන්නට මත්තෙන් ඌ පැන ගියේ “තොපි ඔය උජාරුවට ගමන් කරන්නේ යාල කලාප අංක 2 හරහා බව දැන ගෙන පලයව්” යන මතක් කිරීම ද සමග විය යුතු ය. තැනෙක ලතාවට ගමන් කරන මුව රංචුවකි. තවත් තැනෙක නියඟය නිසා කේඬෑරි වී ගිය වැව්වල වතුර ඇති තැන් බලා ඒවායේ ලැග සිටින කුළු හරකුන් ය. දිවියා හා සටන් කර පරාජය වූ ගෝනුන්, මුවන් ආදී සතුන්ගේ අං තට්ටු ද නොඅඩු ය. ඇත් හිස් කබල් ද හමු නොවූවා යැයි කීවොත් ඒ මුසාවකි. යුද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන තවත් විවේකස්ථානයක් කිලෝ මීටර 6 ක පමණ ගමනකින් පසු අපට හමු වුවත් අප එහි නතර නොවූයේ “ළිං තුන” නමින් හඳුන්වන ඊළඟ ප්‍රධාන නැවතුම් පොළ කරා හනිකට ඇවිද යෑම වඩාත් යෝග්‍ය බවට සාමූහික තීරණයක් අරගත් නිසා ය. පාද යාත්‍රාව සමග අප සම්බන්ධ වීමට පෙර දිනයේ වන අලියකු විසින් කරන ලද පහර දීමක් හේතුවෙන් එහි ගමන් ගත් වියපත් කාන්තාවක මිය ගිය පුවතට අදාළ භූමි ප්‍රදේශය ද මෙය ම වන්නේ ය. කෙසේ වුවත්, මෙම පාද යාත්‍රාවට ම ආවේණික වූ ආශිර්වාදාත්මක හරෝ හරා වදන් පෙළ හඬ නඟා කියමින්, දැඩි හිරු රශ්මියට අභියෝග කරමින් වැව් තාවුලු, තණ පිටි, දිය කඩිති හරහා ගමන් කරමින් අප සේන්දු වූයේ විසල් ලෙස පැතිරුණු වැවක් අසබඩට ය. පාද යාත්‍රාව විසින් මෙහි දී එම දිනට අදාළ ගමනාන්තයට ළඟා වීම සඳහා අපට විකල්ප දෙකක් ඉදිරිපත් කරන ලදී. වැව වටා ඇති දර්ශනීය ගමන් මාර්ගය හරහා කිලෝ මීටර 7ක් ඇවිද ගොස් ළිං තුන නමැති ස්ථානයට යනවා ද එසේ නැතහොත් වැව හරහා ගොස් කිලෝ මීටර එකහමාරකින් පමණ ගමන කෙළවර කරනවා ද යන්න යි.

කිලෝ මීටරය මතු නොව මීටරය ද මේ වන විට අපට මහ මෙරක් නිසාත්, අපට ඉදිරියෙන් ගමන් කළ සැලකිය යුතු බැතිමතුන් ප්‍රමාණයක් වැව හරහා ගමන් කළ නිසාත් අපි ද ඔවුන් මඟ ගැනීමට තීරණය කළෙමු. නමුත් එය මොන තරම් අනුවණ පියවරක් දැයි අපට වැටහීමට ගත වූයේ නිමේෂයකි. කද මලු හිස මත තබා ගෙන, මඩේ එරෙමින්, සීරු මාරුවට පාද මාරු කරමින් යන අපගේ ශරීර කූඩු වසා ටිකෙන් ටික වැව් වතුර ඉහළට එන වග දුටු තරුණයන් දෙපළක් වහා වතුරට පැන විත් අපට අත නොදෙන්නට සිදු වන නස්පැත්තිය ගැන සිහි වන විට දැනුත් හීගඩු පිපෙන වග කිව යුතු ම ය. පසුව දැන ගත් අන්දමට එම වැව කිඹුල් විමානයකි. පණ බේරුවේ එක්කෝ කඳ සුරිඳු ය. නැතහොත් තෙරුවණේ අනන්ත වූ ගුණ සමුදාය ය. එසේත් නැත්නම් ඒ දෙක ම ය.

මාධව වික්‍රමසිංහ
පින්තූර : රසික පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment