පරිසර දූෂණය හේතුවෙන් 2019දී ඉන්දියාවේ මිලියන 2.3ක් මරුට

487

වායු හා ජල දූෂණය හේතුවෙන් 2019 වසරේදී ඉන්දීය වැසියන් මිලියන 2.3කට අධික පිරිසක් මිය ගොස් ඇති බව එංගලන්ත වෛද්‍ය සඟරාවක් වන ‘ලැන්සෙට්’ සඟරාව විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී හෙළි වී තිබේ. මෙම මරණවලින් මිලියන 1.6ක් වායු දූෂණය හේතුවෙන් මිය ගොස් ඇති අතර තවත් පන් ලක්ෂයකට අධික පිරිසක් ජල දූෂණය හේතුවෙන් මිය ගොස් ඇති බව එම අධ්‍යයන වාර්තාවේ සඳහන් කර තිබේ.

 අදාළ අධ්‍යයන වාර්තාවට අනුව වාර්ෂිකව ලොව පුරා සිදුවන සෑම මරණ හයකින් එකක්ම පරිසර දූෂණය හේතුවෙන් සිදු වන අතර එය සංඛ්‍යාත්මකව ගත් විට මිලියන නවයකි. සෑම වසරකම වායු දූෂණය නිසා හටගන්නා රෝගවලින් මිලියනයකට අධික ජනතාවක් මිය යන ඉන්දියාවේ මෙම තත්ත්වය ඉතාමත් දරුණු බව අධ්‍යයනය සිදු කළ පර්යේෂකයෝ පවසති. ඉන්දියාව තුළ කාර්මික අපද්‍රව්‍ය, වායු හා විෂ රසායන ද්‍රව්‍යයන් හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව අනාවරණය වී තිබේ. පරිසර හෝ වෙනත් දූෂණ තත්ත්වයන් හේතුවෙන් ලොව පුරා සිදු වන මරණවලින් සියයට 90කට වඩා වැඩි ප්‍රතිශතයක් සිදු වනුයේ අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවල බව හෙළි වී ඇති අතර ඉන් වැඩි ප්‍රතිශතයක් වාර්තා වනුයේ ඉන්දියාවෙන් බව අනාවරණය වී තිබේ. ඉන්දියාවේ සියයට 93ක භූමි භාගයක පැතිරී පවතින වායු ඇතුළු දූෂණ තත්ත්වයන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කරන ලද සීමාව ඉක්මවා ගොස් ඇති බව අදාළ අධ්‍යයන වාර්තාවේ දැක්වේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment