හිත් පිත් නැති සංවර්ධනයට කෲඩියා ගෙල දෙයි

775

2019 සිට දැනගෙනත් කෲඩියා බේරාගන්නට බලධාරීන් කිසි දෙයක් කළේ නැහැ

මේ නැති වුණේ ගම්පහ සංචාරක පුරවරයක් කරන්නට තිබුණු අවස්ථාවක්

මධ්‍යම අධිවේගී මාර්ගය තැනීමේදී එම මාර්ගයේ සීමාව තුළට සලකුණු කර ඉවත්කිරීමට යෑමේදී මහත් ආන්දෝලනයකට ලක්වූ, ගම්පහ දාරළුවේ පිහිටි කෲඩියා සිලනිකා (Crudia Ceylanica) නොහොත් පඬු කරඳ (පණු කරඳ) ශාකය ඉකුත් 10 වැනිදා, (පෙරේදා) සවස කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කිරීම මේ වනවිට මහත් කතා බහට ලක්ව ඇත. මෙසේ මෙම ශාකය ඉවත් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් අනුව බව දැනගන්නට ඇත.

සැබැවින්ම කෲඩියා සිලනිකා ගැන අපට කියවන්නට තිබුණේ මෙවන් අවාසනාවන්ත කතාවක් නොව, අලුත්ම අලුත් ප්‍රවෘත්තියකි. එනම්, මධ්‍යම අධිවේගී මාර්ගය තැනීම සඳහා පාරිසරික තක්සේරු ක්‍රියාවලියේ යෙදී සිටි පර්යේෂණ කණ්ඩායමකට මීට වසර 50 කට එපිටින් ශ්‍රී ලංකාවෙන් වඳවී ගියා යැයි සැලකෙන “කෲඩියා සිලනිකා” නමැති ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් නැවත සොයාගන්නට ලැබුණු බව හා එම ශාකය නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ ගමන් මග වෙනස්කර, ඉහත ශාකය සංරක්ෂණය කිරීමට රජය වහා පියවර ගන්නා ලදි, හෝ එම නිසාම ගම්පහ-දාරළුව ගම් ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස දියුණු කර, කෲඩියා සිලනිකා ශාකයෙන් ආදායම් උත්පාදනයට රජයේ සැලසුම් කර ඇත වැනි ධනාත්මක ප්‍රවෘත්තියකි. වැඩිමනත් දාරළුව දුම්රිය පළ “කෲඩියා ස්ටේෂන්” බවට පත්කර සංචාරකයින් එහි ගෙන්වා ඉතා හොඳ ආදායම් මාර්ගයක් ලබාගන්නට රටට අවස්ථාවක් ද මේ නිසා උදා විය. නමුත්, දුර දැකීමක් නැති, කොන්දක් නැති නායකයින් කලක පටන් රට කරවන හෙයින් කෲඩියා සිලනිකා වැනි රටේ ජාතික සම්පත් උදුරා විසිකරනු දකිනවා හැර උන්ගෙන් වෙන යමක් රට වෙනුවෙන් අපට බලාපොරොත්තු වීමට නොහැකිය.

හිත් පිත් නැති සංවර්ධනයට කෲඩියා ගෙල දෙයි

කෲඩියා සිලනිකා නම් ශාකයේ මතකය මෙරට සංරක්ෂණවේදීන්ගෙන් ගිලිහෙන්නේ 1911 න් පසුවය. ඒ කළුතර දිස්ත්‍රික්කයේ ගල්පාත නම් කළුගඟ නිම්නයේ පිහිටි ප්‍රදේශයේ ස්ථානයකින් හඳුනාගෙන තිබුණු එම වර්ගයේ ගස කපා දැමීමත් සමගය. පළමුවරට මෙම කෲඩියා සිලනිකා නම් ශාකය මෙරටින් වාර්තා කරනු ලබන්නේ 1865 දී එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කළ ජී. එච්. කේ. ත්වෙට්ස් (G. H. K. Thwaits) මහතා විසිනි. කළුතර ගල්පාත ප්‍රදේශයේ පිහිටි එවන් වර්ගයේ ගසකින් ලබාගත් පත්‍ර ඇතුළු එක් නිදර්ශකයක් පේරාදෙණිය ශාකාගාරයේත්, තවත් නිදර්ශකයක් බි්‍රතාන්‍යයේ රාජකීය ශාකාගාරයේත් (කිව් ගාර්ඩ්න්) තැන්පත් කරමින් ඔහු විසින් මෙම ශාකය Crudia Ceylanica නමින් විද්‍යා ලොවට හඳුන්වා දී (Describe)ඇත.

අනතුරුව මෙම ශාකයේ තවත් නිදර්ශකයක් 1911 පෙබරවාරි මස 20 වැනිදා ජේ. එම්. සිල්වා මහතා විසින් එක්රැස් කර පේරාදෙණිය ශාකාගාරයේ තැන්පත් කර ඇත. ඒ බොහෝ විට කළුතර ගල්පාත පිහිටි ගසේම නිදර්ශකයක් විය හැකි බවට පර්යේෂකයෝ විශ්වාසය පළ කරති. ඉහත තොරතුරු අනුව පසු කලෙක ගල්පාත ගස නිරීක්ෂණයට ගිය අයකු එම ගස කපා දමා ඇති බවට වන සටහනක් පේරාදෙණියේ තැන්පත්ව පවතින නිදර්ශකය මත පැන්සලයකින් සටහනක් දමා තිබේ. ඒ අනුව කෲඩියා පිළිබඳ මතකය සමාජයෙන් ගිලිහී යනු ලබන අතර, 1999, 2007, 2012 යන ජාතික රතු දත්ත වාර්තාවන්හි මෙම ගස පිළිබඳව සටහන් වී ඇත්තේ මෙරටින් වඳවී ගිය ශාකයක් (EX) ලෙසිනි. ඒ වසර 50 ක් තුළ මෙම ශාකය වාර්තා නොවීමේ සිද්ධාන්තයට යටත්ව ය. ජාත්‍යන්තර රතු දත්ත වාර්තාව ද ඒ අනුව යමින් මෙම ශාකය වඳව ගිය ශාකයක් ලෙස හඳුන්වා දී ඇත. ඒ අනුව යමින් පාසල් විෂය නිර්දේශයේ විද්‍යාව පෙළ පොතට ද Crudia Ceylanica යනු වඳවී ගිය ශාකයක් ලෙස ඇතුළත් කර තිබේ.

කෲඩියා සිලනිකා යළිත් ගම්පහ දාරළුවෙන් වාර්තාවන්නේ එවන් තත්ත්වයක ගස තිබියදීය. ඒ අනුව කෲඩියා දැඩි තර්ජනයට ලක්වූ ශාකයක් ලෙස මෙවර රතු දත්ත වාර්තාව එක්කර ඇත. (HT) මහා සංවර්ධන ව්‍යාපෘති සඳහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා අවශ්‍ය බව රජය (නොව සංරක්ෂණය සඳහා ස්ථාපිත කර ඇති රජයේ ආයතන) කීවද, එවන් අවංක, සැබෑ පරිසර බලපෑම් තක්සේරු පරීක්ෂණ මෙරට සිදුනොවන තරම්ය. එනම්, මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා වන පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තාව දෙතුන් පාරක් සිදුකිරීමෙන් හා දෙතුන් වතාවක් පරීක්ෂාවට ලක්කිරීමෙන් පසුද, කෲඩියා ශාකය ඔවුන්ට හමුනොවීම මහා පුදුමයකි.

කෙසේ හෝ 2019 නොවැම්බර් 17 දින දාරළුවේ අදාළ පරිසර පද්ධතිය ගවේෂණය කරනු ලබන පරිසරවේදී හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා විසින් මෙම ගස කෲඩියා සිලනිකා බවට තහවුරු කර හඳුනාගනු ලැබීය. ඉන් පසු ලැව්ගින්නක් සේ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය මේ අලුත් සොයාගැනීම පිළිබඳ ප්‍රවෘත්තිය මතු වූ දා සිටම පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණු අතර, හා වසරක කොරෝනා නිවාඩුව තුළ මේ ගස පිළිබඳව හෝ මාර්ගයේ වෙනස්කමක් කිරීමක් සිදුකර ගස බේරාගැනීම සඳහා ඕනෑ තරම් කාලයක් තිබියදී බලධාරීන් ඒ පිළිබඳව නෑසූ කන්ව සිටියහ.

හිත් පිත් නැති සංවර්ධනයට කෲඩියා ගෙල දෙයි

මධ්‍යම අධිවේගී මාර්ගය කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේම දිගුවක් ලෙස සකස් කරන්නට තීන්දු කර තිබුණ ද, පසුව එය කොළඹ පිටත වටරවුම් (අධිවේගී) මාර්ගයේ දිගුවක් ලෙස කඩවත සිට දඹුල්ල දක්වා ලෙස වෙනස් කර ඇත. ඒ අනුව අවසන් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සකස් වන්නේ කඩවත සිට දඹුල්ල දක්වාය. skills International නම් සංවිධානයක් මගින් මෙහි පළමු හා කොටස් දෙකකට වශයෙන් වූ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සකසනු ලබන්නේය. ඒ එඬේරමුල්ලේ සිට මීරිගමටත් එතැන් සිට දඹුල්ලටත් වශයෙනි. මෙම වාර්තාවට අනුව මධ්‍යම අධිවේගී මාර්ගය ගම්පහ පසුකර දාරළුව (දුම්රිය ස්ථානයට යාබදව) ගම්මානය මැදින් ගමන් ගන්නා බව සඳහන් වුවද දාරළුවේදී කෲඩියා සිලනිකා නම් ගසක් හෝ හඳුනාගන්නට නොහැකි වෙනත් කුමන හෝ ගසක් එහි ඇති බවටවත් එම වාර්තාව සමත් නොවේ. ඒ නැතත්, ඊට පසු තවත් ආයතනයක් මගින් පසුව සිදුකර හඳුනාගනු ලබන මැන්ඩෝර (Vatica paludosa) නම් ශ්‍රී ලංකාවට ආවේණික, දුලභ, වඳවීයෑමේ තර්ජනයට ලක්වූ ශාකය හෝ එවැනිම තර්ජනයට ලක්වූ වැල් වර්ග තුනක් එනම් හීං හිඹුටු (Salacia chinensis), බූවසතැල් (Bonamia semidigyna) සහ Combretum acuminatum පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් හඳුනාගන්නේ නැත. එබැවින් Skills International නම් සංවිධානය මගින් මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධව කරන ලද පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සම්පූර්ණයෙන්ම පාහේ සාවද්‍ය, දෝෂ සහිත වාර්තාවක් බව අපගේ පිළිගැනීමයි. මේ සඳහා කොපමණ මුදලක් ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වාද යන්න හෙළි කළ යුතු වන අතර, ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නේ කෙළෙසද යන්න බලධාරීන් වහා හෙළිදරව් කළ යුතුව ඇත

කෙසේ හෝ කොටස් දෙකකට සිදුකර ඇති ඉහත පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව මධ්‍යම පරිසර අධිකාරියේ ඉල්ලීම පරිදි තනි වාර්තාවක් බවට පත්වන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා අංශය මගිනි. ඒ කෙසේ හෝ කෲඩියා සිලනිකා නම් වඳවී ගිය බවට සංරක්ෂණ ලේඛනවල සඳහන් ශාකය නැවත දාරළුවෙන් හඳුනාගන්නා ලද්දේ පෙර දැක්වූ හිමේෂ් දිල්රුවන් ජයසිංහ නම් ශාක පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පරිසරවේදියා විසිනි. ඒ මෙම ගලවා දමන ලද දාරළුවේ ශාකයයි. නොහොත්, මෙම දාරළුවේ Crudia Ceylanica ශාකය යනු වසර 50 ක් වාර්තා නොවී යළිත් එම ශාකය මේ බවට වාර්තා කරන ලද “සමරු ශාකය”යි. මෙසේ ගලවා දමන ලද ශාකයයි. අපගේ අදහස නම්, මෙවන් සමරු වෘක්ෂයක් භාවිතයට ගෙන අදාළ ස්ථානය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කළ හැකිව තිබුණු බවයි. එසේ කරන්නට හැකියාව තිබිණි නම්, එතැන තිරසර සංවර්ධනය යනුවෙන් රටේ පාලකයින්ම නිතර දෙවේලේ මතුරන මන්ත්‍රණය යථාර්ථයක් කරන්නට අවස්ථාවද හොඳටෝම තිබිණි. ශාකයත් එතැනම තියාගෙන, මාර්ගයත් නිම කරන්නට ඕනෑතරම් අවස්ථාව තිබිණි. එවන් දක්ෂ ඉංජිනේරුවන් අපට නැති වීම ගැන එක අතකින් අප ලජ්ජා විය යුතු අතර, ගස උදුරා දැමීමෙන් ගිලිහී ගියේ ලෝකයට කියන්නට තිබූ එම “තිරසර සංවර්ධන” කතාව පමණක් නොව, රටට ඩොලර් ගෙනෙන්නට තිබුණු අනගි අවස්ථාවක් බවද සිහිපත් කරනු කැමැත්තෙමි.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment