පසුගිය සමයේ රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කරන්නේ නැහැ

71

සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යනවා
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයේ දී ජනපති කියයි

පසුගිය සමය තුළ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදුවූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් හිමි නොවන බවත්, නිවැරදි තීන්දු තීරණ සමඟ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළයුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය සමයේ රට මුහුණ දුන් අන්දමේ අවාසනාවන්ත යුගයක් මතු පරපුරට උරුම කරන්නේ නැහැ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150වන සංවත්සර උත්සවයට ඊයේ (13දා) පෙරවරුවේ එක් වෙමිනි.

සියලු ක්ෂේත්‍රයන්හි නවීකරණයක් සමඟින් රට ඉදිරියට ගෙන යාම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගැනීමට තාක්ෂණ ප්‍රවර්ධන සභාව ද, රටෙහි ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඩිජිටල් පරිවර්තන කොමිසම ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

අග්‍රාමාත්‍ය විජයානන්ද දහනායක මහතාගෙන් පසුව මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට රාජ්‍ය නායකයෙකු පැමිණි ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යාලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් ස්ථාපිත කර තිබූ සමරු ඵලකය නිරාවරණය කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. එසේම ජනාධිපතිවරයා සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබාගත් විද්‍යාලයේ සිසුන් වෙත සහතික පත්‍ර පිළිගැන්වීම ද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය ආරම්භ කර වසර 150ක් ගතව තිබෙනවා. මෙම පාසල ආරම්භ කරන විට මේ රටේ තිබුණේ වැවිලි ආර්ථිකයක්. කෝපි වගාව විශාල ලෙස ව්‍යාප්ත වී තිබුණා. නමුත් වසර කිහිපයක් ගත වන විට කෝපි වගාව සම්පූර්ණයෙන් විනාශ වී ගිය අතර ආර්ථිකය කඩා වැටි ආණ්ඩුවට ආදායමක් නැතිව ගියා. අනතුරුව වසර 15-20ක පමණ කාලයකින් තේ වගාව ආරම්භ කරන තුරු රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වුණා. නව වැවිලි බෝග ලෙස තේ වගාවත්, රබර් වගාවත් ආරම්භ කිරීමෙන් පසු නැවතත් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත් වුණා.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය අද 150 වන සංවත්සරය සමරන අවස්ථාව වන විටත් රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. පසුගිය වසරේ පිපිරී ගිය එම ආර්ථික අර්බුදය නිසා ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් රටට විශාල බලපෑමක් එල්ල වුණා.

මෙම අර්බුදයෙන් අපට ගොඩඒමට හැකිවනු ඇතැයි එදා කිසිවෙක් විශ්වාස කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව එම වගකීම

භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම එයට හොඳ උදාහරණයක්. සාමාන්‍යයෙන් වෙනත් අවස්ථාවල අගමැතිකම භාර ගන්න පෝලිමේ එනවා. නමුත් ඒ අවස්ථාවේ කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ.

එවැනි පසුබිමක මම ජනාධිපති ධුරයේ වගකීම භාරගෙන, අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කර ගනිමින් රටේ ආර්ථික අර්බුදයට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් සෙවීම ආරම්භ කළා. අප ගනු ලැබූ තීන්දු තීරණ නිසා රටේ පෝලිම් යුගය අවසන් කිරීමට හැකි වුණා. එසේම පසුගිය වසරේ සැප්තැම්බර් මෙන්ම මෙම වසරේ ජනවාරි හා අප්‍රේල් යන මාසවල ආණ්ඩුවක් ලෙස ගනු ලැබූ තීන්දුවල ප්‍රතිඵල අද ජනතාව භුක්ති විඳිමින් සිටිනවා.

මෙම වසර අවසන් වන විට ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගනිමින් රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බව අප විශ්වාස කරනවා. නමුත් එය සිදු කිරීමට නම් අප රාජ්‍ය වියදම් පාලනය කළ යුතුයි. ඒ වගේම නිෂ්පාදන ආර්ථියක් බවට පරිවර්තනය වීමටද අවශ්‍යයි. ඒ සඳහා වන වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. අප ගනු ලබන පියවර නිසා “බංකොළොත්” යන ලේබලය ඉවත් කරගන්නට හැකියාව ලැබී ඇති නමුත්, කඩිනමින් ඊළඟ පියවර නොගතහොත් තවත් වසර 10ක් යන තැන නැවත බංකොළොත් භාවයට පත් වෙනවා. එසේ නම් නව ක්‍රමයක් ඔස්සේ ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. ව්‍යාපාරයක් පවත්වාගෙන යන අන්දමේ මූල්‍ය විනයක් එහිදී තිබිය යුතුයි.

ඒ වගේම සෑම රාජ්‍ය ආයතනයකින්ම උපරිම ප්‍රයෝජන ලබා ගත යුතුයි. මේ වන විටත් අමාත්‍යාංශවල අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම රජයට අයත් ඉඩම්, ගොඩනැඟිලි හා වාහන පිළිබඳ වාර්තාවක් සකස් කිරීම අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. මේ වසර අවසන් වන විට එම තොරතුරු ලබා ගැනීමට හැකිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

මෙම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ අවසන් කර ගැනීමෙන් පසු අප නිසි ලෙස ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි. අද බොහෝ දෙනෙක් මේ රට හැර ගොස් තිබෙනවා. එලෙස රටින් පිටව ගිය විශේෂඥයන්, වෘත්තීවේදීන්ගේ සංඛ්‍යාව දෙස බලන විට අපට පහසුවෙන් එම හිඩැස පුරවා ගත නොහැකියි. කෙසේ හෝ සියලු දෙනාට ජීවත්විය හැකි හොඳ ආර්ථික පසුබිමක් රට තුළ ගොඩනැගීමට අප දැන් කැපවී සිටින බව කිව යුතුයි.

ආණ්ඩුවට ලැබෙන ආදායම, වියදම් පියවීමට ප්‍රමාණවත් නොවීම සහ ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩිවීම අද මේ රට මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස පෙන්වා දිය හැකියි. හැමදාම මේ සඳහා ණය ගැනීමට අපට හැකියාවක් නැහැ. ණය ප්‍රශස්තකරණයෙන් පසු නැවත මෙම ප්‍රශ්නය මතු වෙනවා. අප එය වළක්වාගත යුතුයි. ඒ සඳහා අප දළ දේශීය නිෂ්පාදනය ශීඝ්‍ර ලෙස ඉහළ නංවාගත යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය වැඩිකළ විට රටට ලැබෙන ආදායම ඉහළ යනවා. අනෙක් පසින් අප අපනයනය ද වැඩි කර ගත යුතුයි. මෙම වැඩපිළිවෙළ ඉදිරි වසර 10දී අප ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.

අද ආණ්ඩු පක්ෂයේ වුණත්, විපක්ෂයේ වුණත් සාම්ප්‍රදායික දේශපාලන සටන් පාඨවලින් වැඩක් නැහැ. රට මුහුණදී තිබෙන අභියෝගය මනා ලෙස විග්‍රහ කරමින් ඒ සඳහා ඇති විසඳුම් සමග අප ඉදිරියට යා යුතුයි. එම විසඳුම් පිළිගන්නේ නැති නම් ප්‍රශ්න විසඳිය හැකි විකල්ප ඉදිරිපත් කළ යුතුයි.

අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනඟා දීමටයි. ඒ නිසා පසුගිය වසරේ සිදු වූ දේ නැවත කිසිදා මේ රටේ සිදු නොවන ලෙස ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කිරීම අප සියලුරෑදෙනාගේ වගකීම වෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු එම්.පී.බී. දෙහිදෙණිය, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න, භීඊඵ හරිත විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරුන් ද මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති ධම්මික හේවාවසම් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසුන්, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment