ප්‍රතිපත්ති පාවාදීලා සල්ලි විසිකරලා ස්වර්ගයට යන්න බැහැ – කොළඹ අගරදගුරුතුමෝ කොච්චිකඩේ දේව මෙහෙයේදී කියති

116

ආගම, කිසිවකුට නින්දා අපහාස කිරීමට හෝ තවත් අයකුගේ චින්තනයට ගැරහීමට යොදාගත හැකි මාර්ගයක් නොවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පෙරේදා (12 දා ) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ 189 වැනි වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් පැවැති විශේෂ සන්ධ්‍යා මෙහෙයට එක්වෙමින් පැවසූහ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමා මෙසේද කීය.

ප්‍රතිපත්ති පාවා දීලා, සල්ලි විසිකරලා ස්වර්ගයට යන්න බැහැ. සමහරු, මිනිස්සු නොමඟ යවලා, බොරුව මායාව පෙන්වලා තමන්ගෙ මඩිය තරකර ගන්නවා. මේවාට නිසි පිළිතුරු ලැබෙයි.

පාස්කු ප්‍රහාරය සිදුවෙලා මිනිස්සු 272 ක් මැරුණා. කෝ සාධාරණය ඉටු වුණාද? මේ මිනීමැරුමට කව්ද සම්බන්ධ කියලා තවම සොයාගන්න බැරිවෙලා තිබෙනවා.

විවිධ දේවල් කරලා අපිව රවට්ටන්න උත්සාහ කරනවා. අපි රැවටෙන්නේ නැහැ. කකුළුවා නටන්නේ වතුර රත්වෙනකල් විතරයි. පල්ලිවල හෝටල්වල මිනීමරන්න ශක්තිය දිපූ අය අද සමාජයේ ලොකු ලොකු තැන්වල ඉන්නවා, ලොකුවට කතා කරනවා. හැබැයි අපි දන්නවා වැඩිකල් යන්න කලින් එකිනෙකා පාවා දීලා සත්‍ය හෙළි වෙනවා කියලා.

අද මැති ඇමැතිවරු මිනිස්සුන්ගේ කටවල් වහන්න විවිධ අණ පනත් ගේනවා. මේවා කරලා රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? අපි විශ්වාස කරනවා වැඩිකල් යන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ අපිට මේ මිනීමැරුමේ සත්‍ය හෙළි කරයි කියලා.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment