පාතාලයේ කැවුමාට සල්ලි පොලියට දුන් ජෝතිර්වේදියා

3361

මාකඳුර මධුෂ්ගේ හොඳම ගෝලයෙක්…

පාතාලයේ දෙවෙනි මධුෂ් ලෙසත් හඳුන්වනවා…

ගමේ පෙනී සිටියේ ව්‍යාපාරිකයෙකු ලෙසින්….

මධුෂ් එලවපු බස්රථයේ කොන්දොස්තර කැවුමා…

ඉන්දික සම්පත් නොහොත් කැවුමා කරළියට පැමිණෙන්නේ 2019 වර්ෂයේ දී මාකඳුරේ මධුෂ් විසින් එකල මෙරට මහත් ආන්දෝලනයක් ඇති කළ කෝටි 500 දියමන්ති කොල්ලයත් සමඟයි. එම දියමන්තිය පන්නිපිටියේ ඇරැව්වල පදිංචි ක්‍රිෂාන් ඩේවිඩ් පීරිස් නමැත්තාට අයත් එකකි. එම දියමන්තිය කෝටි 2000ක් පමණ වටිනා බව ඔහු සඳහන් කරයි.

එකල එම දියමන්තිය කොල්ලකා තිබුණේ මාකඳුරේ මධුෂ්ගේ සැලසුමක් අනුව ඔහුගේ ගෝල කණ්ඩායම් තුනක් එක්ව කළ කොල්ලයකිනි. මධුෂ් 2019 වර්ෂයේ පෙබරවාරි හතර වැනි දා ඩුබායි පොලිසියට කොටු වීමත් සමඟ ඒ දියමන්ති කොල්ලය පිළිබඳ තොරතුරු කරළියට පැමිණියේය. ඒ අනුව එම දියමන්තිය ගැන විවිධ පුවත් මැවෙමින් තිබිණි. දියමන්තිය මධුෂ්ගේ ගෝලයන් ඩුබායි යැවූ බවටද වාර්තා විණි.

එහෙත් එම වර්ෂයේ පෙබරවාරි හතර වැනිදා රාත්‍රී හතයි තිහට පමණ කිරිබත්ගොඩදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකින් 42 හැවිරිදි කැලුම් ඉන්දික සම්පත් හෙවත් කැවුමා නමැත්තා කොටුකර ගැනීමට සමත් විණි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී දියමන්තියේ සියලු තතු හෙළි කරගැනීමට පොලිසියට හැකි විණි. ඒ අනුව එදින රාත්‍රියේම දියමන්තිය පානදුර කෙසෙල්වත්තෙ කැවුමා කුලියට ගෙන තිබූ දෙමහල් නිවෙසේ උඩු මහලේ අල්මාරියක සඟවා තිබියදී පොලිසි බාරයට ගැනුණේ රන් ආභරණ පවුම් 70කට අධික ප්‍රමාණයක් සමඟිනි.

එම දියමන්තිය සහ රන් ආභරණවලට අමතරව ලක්ෂ 37ක මුදලක් වැය කර ලබාගත් සුරයක්ද විය. එම සුරය කැවුමා භාවිත කොට තිබුණේ වෙඩි නොවැදී ජීවත් වීමටය.

කැලුම් ඉන්දික සම්පත් හෙවත් කැවුමා මාකඳුරේ මධුෂ්ගේ මෙරට සිටි ප්‍රධානතම ගෝලයා බව සැලැකේ. මධුෂ් මෙන්ම කඩවසම් පුද්ගලයකු වන කැවුමා මධුෂ්ගේ නියෝග මත මෙරට සිට සියලු අපරාධ මෙහෙයවමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ අයෙකි.

පාතාලයේ කැවුමාට සල්ලි පොලියට දුන් ජෝතිර්වේදියා

කැවුමාගේ උපන් ගම් ප්‍රදේශය වූයේ ඇල්පිටිය පිටිගලයි. එම ප්‍රදේශයේ විහාරස්ථානවලට අත දිගහැර ලක්ෂ ගණනින් මොහු මුදල් වියදම් කොට තිබේ. එයට අමතරව ප්‍රදේශයේ පොදු වැඩ කටයුතුවලට සහ පාරවල් සාදවා දීමට ද මුදල් වැය කර තිබේ. එම ප්‍රදේශයේ කැවුමා කොන්ත්‍රාත් ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිට ඇත.

කැවුමා මාකදුරේ මධුෂ්ව දැන හඳුනගන්නේ දැනට දශක කිහිපයකට පමණ ඉහතදීය. ඒ මධුෂ් රියැදුරු ලෙස සේවය කළ කඹුරුපිටිය ප්‍රදේශයේ බස් රථයක කැවුමා කොන්දොස්තර ලෙස සේවය කාලසීමාවේදීය. එලෙස පටන් ගත් මිතුදම මාකදුරේ මධුෂ් මිය යන තෙක්ම නොබිඳී පැවතුණි.

මීගමුව ප්‍රදේශයේ සිදුකළ කොල්ලයක් නිසා 2005 වසරේ සිට වසර පහක් කැවුමාට රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදු විය. එලෙස බන්ධනාගාරයෙන් අප ලැබුණු පසු මාකදුරේ මධුෂ් සමග අපරාධ රැසක් මොහු සිදු කළේය. එම නිසා කැවුමාට එරෙහිව රටපුරා අධිකරණ නඩු රැසක්ම තිබුණි. එහෙත් ඔහු කිසිදු නඩුවකට ඉදිරිපත් නොවී ඉතා රහසිගත ජීවිතයක් ගත කරමින් සුපුරුදු පරිදි මාකඳුරේ මධුෂ් සමග එකතු වී අපරාධ සිදුකරමින් සිටියේය. සමහරු කැවුමාව හැඳින්වූයේ දෙවැනි මධුෂ් ලෙසටයි.

ඉන්දික සම්පත් නොහොත් කැවුමා පන්සල පාර, ගොඩාමුන, පිටිගල ලිපිනයේ පදිංචිව සිටියත් රටපුරාම පාහේ නිවාස කිහිපයක්ම ඔහු කුලියට ගෙන තිබිණි. ඒ, අපරාධ මෙහෙයුම් සඳහායි. එලෙස කුලියට ගෙන තිබූ නිවාස කිහිපයකම තිබී ගිනිඅවි, මුදල්, ස්වර්ණාභරණ ආදිය සොයා ගැනීමට පොලිසියට හැකි විය. වරක් කැවුමාගේ මොරටුව කටුබැද්දෙ නිවෙසක තිබී අති නවීන ගිනිඅවි රැසක ජීව උණ්ඩ දහසකට ආසන්න ප්‍රමාණයක් සහ යුද හමුදා නිල ඇඳුම්ද පොලිසිය සොයා ගත්තේය. එම ජීව උණ්ඩ අතර පොලිස් විශේෂ කාර්ය බළකාය භාවිත කරන එම්6 ගිනිඅවියේ උණ්ඩද තිබිණි. එයට අමතරව ටී56 සහ 846 නමැති

ගිනිඅවිවල ජීව උණ්ඩ තිබිණි. තවද ඔහු විසින් අපරාධ සඳහා යොදාගත් දුරකථන 132ක්ද එම නිවෙසේ තිබී පොලිසියට හමුවිය.

කැවුමා අපරාධ සඳහා භාවිත කළ දුරකථනයක් එම අපරාධයෙන් පසුව සිහිවටනයක් ලෙස තබාගැනීමට පුරුදු වී සිටියේය. එම දුරකථන ප්‍රමාණයෙන්ම කැවුමා ඇතුළු පිරිස මෑත කාලයේ සිදු කළ අපරාධ සංඛ්‍යාව ගැන සිතා ගැනීමට හැකිය.

එයට අමතරව කැවුමාගේ පිටිගල නිවෙසේ ස්ථාන කිහිපයක වළ දමා තිබියදී රුපියල් ලක්ෂ එකසිය පනහකට අධික මුදලක්ද සොයාගැනීමට පොලිසියට හැකිවිය.

මාකදුරේ මධුෂ්ගේ දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකරු ලෙස කැවුමා අත්අඩංගුවට පත්වූ පසු කළ ප්‍රශ්න කිරීම් හමුවේ දී වෙඩිකන්දේ නිවෙසක සඟවා තිබූ ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ කිහිපයක්ද සොයාගැනීමට හැකි විය. ඒ අතර තිබූ එක් ගිනිඅවියක් මෑත කාලයේ මෙරටින් සොයාගත් කුඩාම ගිනිඅවිය ලෙසටද හැඳින්වුණි.

කැවුමා කෝටි ගණනක මුදලක් වැය කර මොරටුව ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන තුන් මහල් නිවෙසක්ද ඉදි කර බවට ද තොරතුරු හෙළිවිය.

තවද මොහු බන්ධනාගාරගතව සිටි සමයේදී ඔහු සමඟම අපරාධයට බන්ධනාගාරගත වූ සුරූපී තරුණියක් සමඟ ඇතිවූ පෙම් පලහිලව්වක් මත බන්ධනාගාරය තුළදීම විවාහ වී ඇති බවටද තොරතුරු අනාවරණය වේ.

මෙරට ආන්දෝලනාත්මක අපරාධ රැසක් වන මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු පිරිසට වෙඩි තැබීම, කළුතර බන්ධනාගාර බස්රථයට ප්‍රහාර එල්ල කිරීම වැනි දරුණු ගණයේ අපරාධ ද මාකදුරේ මධුෂ්ගේ උපදෙස් වලට අනුව මෙහෙයවා ඇත්තේ කැවුමාය.

මෙතරම් දරුණු ගණයේ අපරාධ රැසක් සිදුකළ කැවුමා යළිත් පොලිස් අත්අඩංගුවට පත් වී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළේය. යළිත් වසර ගණනක් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

වසර ගණනකට පසු කැවුමාට ඇප ලැබුණි. එලෙස ඇප ලබාගෙන සති කිහිපයක් ගතවන්නට මත්තෙන් කැවුමා නීතියේ ඇසට ද වැලි ගසමින් විදෙස් රටකට පැන ගත්තේය.

කැවුමා පමණක් නොව මෙරට ප්‍රධාන ගණයේ අපරාධකරුවන් උසාවියෙන් ඇප ලැබුණු පසු කෙලෙස හෝ විදෙස් රටකට පැන ගනී. එලෙස පැන යන බව දැන දැනත් උසාවියෙන් එවැනි ගණයේ අපරාධ කරුවන්ට ඇපද ලැබේ.

එලෙස පැන යන පාතාල අපරාධකරුවන් මෙරට සිටින තම ගෝලබාලයන් යොදවා කිසිදු බියක් සැකක් නොමැතිව මත්ද්‍රව්‍ය ජාවාරම් සහ දරුණු ගණයේ අපරාධ සිදුකරයි. මෑත කාලීනව ගතහොත් මෙයට හොඳම උදාහරණය වනුයේ මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත්වූ කංජිපානි ඉම්රාන්ය.

දරුණුම ගණයේ පාතාල නායකයෙකු වූ ඔහු ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ පසු වසර ගණනක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. ඉන්පසු දැනට මාස කිහිපයකට ඉහතදී ඔහුට ඇප ලැබුණි. ඇප ලැබී දින දෙකක් යන්නට මත්තෙන් ඔහු මෙරටින් පැන ගත්තේ නීතිය තඹ සතේකටවත් මායිම් නොකරයි. එම නිසා නීති රීති වෙනස් කර හෝ මෙවැනි දරුණු ගණයේ පාතාල අපරාධකාරයන් මේ රටින් පැන යෑම වැළැක්වීමට පියවර ගත යුතුය. එසේ නොමැතිවුවහොත් කැවුමා, කංජිපානි ඉම්රාන් වැනි දරුණු ගණයේ පාතාල අපරාධකාරයන් මෙරට සිදුකරන හානිය සුළුපටු නොවේ.

එලෙස විදෙස් රටකට පැනගිය කැවුමා පිළිබඳව පසුගිය දිනක යළිත් කතා බහක් ඇතිවිය. ඒ රුපියල් කෝටි දෙකක මුදලක් කැවුමාට පොලියට දුන් මෙරට ප්‍රසිද්ධ ජෝතිර්වේදියකු නිසාය. එම සිද්ධිය සැකවින් මෙසේය.

කෝටි පන්සියයේ දියමන්තිය කැවුමා ළඟ තිබී පොලිස් අත්අඩංගුවට ගත් දින රුපියල් ලක්ෂ තිස් හතක් වටිනා සුරයක්ද සොයා ගැනීමට පොලිසියට හැකිවිය. එම සුරය ගැන විමසීමේ දී කැවුමා ප්‍රකාශ කර ඇත්තේ වෙඩි නොවැදී තම ජීවිතය බේරා ගැනීම සඳහා මෙරට ප්‍රසිද්ධ ජෝතිර්වේදියෙකු විසින් එය තමන්ට ලබාදුන් බවයි.

කැවුමාට එය ලබාදී තිබුණේ රූපවාහිනි නාලිකාවල පෙනී සිටින කුප්‍රකට ජ්‍යොතිෂවේදියෙකි. පසුගිය දිනවල ඔහුගේ මුහුණ වෙනදා පරිදි රූපවාහිනි නාළිකාවලින් දැකගැනීමට නොහැකි විය. ඒ සමඟම අවස්ථා ගණනාවකදී ඔහු අසත්‍යය අනාවැකි පළ කර ජනතාවගේ හාස්‍යයට ද ලක්විය.

මෙම ජ්‍යෙතිර්වේදයා කිරි කළ පනහකින් නහවා දින ගණනාවක් මන්ත්‍රවලින් ජීවම් කර මස් මාංශ අනුභවයෙන් තොරව පැළඳූ සුරයේ ගල්වා තිබුණේ කොංගෝ වනාන්තරයෙන් ගෙනා සිංහ තෙල් බව කැවුමා පොලිසියට පවසා තිබිණි.

පාතාල අපරාධකරුවන් අතර මෙම ජ්‍යෙතිෂ්‍යවේදියා සහ ලක්ෂ තිස් හතක් වටිනා සුරය ප්‍රසිද්ධියට පත් වූයේ දැනට වසර කිහිපයකට පමණ ඉහතදීය. එම ප්‍රසිද්ධිය සමග මෙම ජ්‍යොතිෂවේදියා ප්‍රබල පාතාල අපරාධකරුවන් රැසකටම වෙඩි නොවදින මෙම සුරය විකුණා තිබේ. තවමත් ඔහු මෙම සුරය පාතාල අපරාධකරුවන්ට අලෙවි කරයි.

පාතාලයන්ට සුර දමන මෙම ජ්‍යෙතිෂවේදියා ව පසුගිය 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. ඒ පාතාලයේ කැවුමාට පොලියට මුදල් ලබාදීමේ සිද්ධියක් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

මෙම ජ්‍යොතිෂවේදියා දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට පවසා තිබුණේ ඉන්දික සම්පත් නොහොත් කැවුමාට සියයට දෙකේ පොලියට ලක්ෂ දෙසීයක් ලබාදුන් බවයි. එමගින් ඔහු වැඩිදුරටත් දන්වා සිටියේ ඉන්දික සම්පත් නොහොත් කැවුමා අත්අඩංගුවට ගන්නා මොහොතේ හමුවූ මුදල් තමාගේ බවයි.

මෙම ලිපිය ලියන මොහොත වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාතාලයට සල්ලි පොලියට දෙන සහ වෙඩි නොවදින සුර ලබා දෙන ජ්‍යෙතිර්වේදියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටියහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment