පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි

76

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා ඊයේ (04) අලුයම අනුරාධපුර ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

කලක සිට දරුණු වකුගඩු රෝගයකින් පෙළී සිට ඇති ඒ මහතා පෙරේදා (03) රාත්‍රී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මත ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටියදී ඊයේ (04 දා) අලුයම 1.30 ට පමණ මිය ගොස් ඇත.

මියයන විට හැත්තෑ එක් හැවිරිදි වියෙහි පසුවූ ඒ මහතා තිදරු පියෙකි.

1997 වර්ෂයේදී පදවිය ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ ඒ මහතා එහි විපක්ෂනායක ලෙස කටයුතු කර ඇත.

අනතුරුව 1999 වර්ෂයේ පැවැති උතුරුමැද පළාත් සභා මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කර තේරී පත්වූ නන්දසේන මහතා එහි සමුපකාර ඇමැතිවරයා ලෙස පත් විය.

ඉන් පසු 2002 වර්ෂයේදී ඔහු එම පළාත් සභාවේ සභාපතිවරයා ලෙස පත් වූ අතර 1994 වර්ෂයේ සිට උතුරුමැද පළාත් සභාවේ අමාත්‍ය ධුර ගණනාවක් හොබවා ඇත. ඒ මහතා අවස්ථා කීපයකදීම වැඩබලන ප්‍රධාන ඇමැතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

ඉන්පසු 2020 වර්ෂයේ පැවැති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කළ ඒ මහතා මනාප ඡන්ද 53618 ක් ලබා මුල් වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස (හයවැනි ස්ථානයට) තේරී පත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීමෙන් පසු ඒ මහතා මියයන තෙක්ම අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසත් හොරොව්පතාන, කැබිතිගොල්ලෑව, රඹෑව, කහටගස්දිගිලිය හා ගලෙන්බිඳුණුවැව යන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇත.

ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අනුරාධපුර සාලියපුර ගල්කඩවල හන්දිය ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ පුත්‍රයාගේ නිවසේ තැන්පත් කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු මේ මස 06 වැනිදා සෙනසුරාදා සවස 4.00 ට අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, නාච්චදූව- ප්‍රභාත් වනසිංහ, නොච්චියාගම- එම්.එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment