පාසල් දරුවන් ලක්‍ෂ අටකට පාවහන් ගැනීමට වවුචර්පත්

74

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

ඉතිරි සති දෙක තුන තුළ පාසල් සිසු සිසුවියන් ලක්ෂ අටකට පාවහන් ගැනීම සඳහා රුපියල් තුන්දහසක වටිනාකමින් යුත් වවුචර්පත් ප්‍රදානය කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලබාදෙන මෙම දීමනාව ඉදිරි 2024 වර්ෂයේ දී තවදුරටත් වැඩි කරන බව ද ඇමැතිවරයා කියා සිටියේය.

2024 වර්ෂයේ සිට අධ්‍යාපන පරිවර්තනීය වෙනස්කම් ක්‍රියාවට නංවමින් පරිපාලන වෙනස්කම් වෙත මුලින් ම පිවිසෙන බවත් විෂය මාලා සංවර්ධනය සඳහා ද ප්‍රමුඛ අවධානයක් යොමු කර ක්‍රියා කරන බවත් මෙහි දී පැවසීය. මේ නව ක්‍රියාකාරකම් හමුවේ සිසුන් දෛනිකව පාසල් පැමිණ පන්ති කාමරය තුළ රැඳී සිටිමින් මොඩ්‍යුලර් ක්‍රියාකාරකම්වල නියැලීම අනිවාර්ය වන බව අවධාරණය කළ අතර ප්‍රාථමික පන්තිවල විභාග හැකි තාක් අවම කිරීමට මෙන්ම පූර්ව ළමා විය ඉගැන්වීම් විධිමත් කිරීමට සහ ප්‍රාථමික ගුරුවරුන් වශයෙන් උපාධිධාරී පුහුණු ගුරුවරුන් බඳවා ගනිමින් ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක පක්ෂය ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද කීය.

ඇමතිවරයා මේ තොරතුරු සඳහන් කළේ ගාල්ල, ගිංතොට සහිරා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් විද්‍යා, ගණිත, ඉංග්‍රීසි, තාක්ෂණ වැනි විෂයන් සඳහා උපාධිධාරීන් 5450ක් බඳවා ගැනීමට මේ දිනවල නිවේදන නිකුත් කර ඇතැයි කී ඇමැතිවරයා ඉන් ජාතික පාසල් සඳහා 1700ක් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන මාධ්‍ය තුනෙන්ම බඳවාගනු ලබන බවත් විශ්‍රාමයෑම, රට හැර යෑම වැනි හේතු නිසා පළාත් මට්ටමින් මතු වී ඇති ගුරු පුරප්පාඩු සඳහා අදාළ බඳවාගැනීම් සිදු කිරීමට ද අනුමැතිය ලබා දී ඇති බවත් ඉක්බිති රටේ ගුරු ඌනතාව බෙහෙවින් වළක්වාගත හැකි වනු ඇති බවත් පැවසීය. එසේ ම නව පරිපාලනමය ව්‍යුහය මත පර්ෂද පාසල් සංකල්පය මත පාසල් පර්ෂද තුළ ගුරු තුලනයන් සිදු කරගැනීම මගින් යම් ගුරු හිඟයක් වෙතොත් එය කළමනාකරණය කරගත හැකි වනු ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය. පාසල් විනය යථාවත් කර පවත්වාගෙන යෑම ගැන ද මෙහි දී සිහිපත් කළ ඇමැතිවරයා ලබන වසර වන විට උසස් පෙළ විෂය ධාරාව සහිත පාසල් 3000ක පමණ ඩිජිටල්කරණ ක්‍රියාවලිය ද සිදු කර අවසන් කරන බවත් කියා සිටියේය.

එසේම ලබන වසරේ සිට පාසල්වල අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරන අතර ඒ යටතේ බාගෙට අවසන් කර ඇති පාසල් ගොඩනැඟිලිවල ඉදිකිරීම් කටයුතු නිමා කිරීමටත් නව විද්‍යාගාර වැනි අත්‍යවශ්‍ය ඉදිකිරීම් සිදු කිරීමටත් හැකියාව ලැබෙන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී සඳහන් කළේය,
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment