පාසල් සිසුවා හප්පා එම ත්‍රිරෝදයේම නංවාගෙන අතරමඟ දමා ගිහින්

307

අමන රියැදුරු රථය සමග දැලේ

පාසල් සිසුවකු අනතුරට පත් කර අනතුරට පත් පාසල් සිසුවා ත්‍රිරෝද රථයේම නංවාගෙන ගොස් අතරමග දමා ගිය ත්‍රිරෝද රථ රියැදුරා සහ ත්‍රිරෝද රථය සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතා පැවැසීය.

ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ පහ වසරේ අධ්‍යාපනය ලබන සිසුවකු ගිනිගත්හේන නගරයේ බාහිර පන්තියකට පැමිණ ආපසු නිවස කරා යෑමට ගිනිගත්හේන නගර මධ්‍යයේ කහ ඉර සීමාවෙන් මාර්ගය හරහා යෑමට උත්සහ කිරීමේදි හැටන් සිට යටියන්තොට දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක සිසුවා ගැටී තුවාල ලබා ඇත.

තුවාල ලැබූ සිසුවා ගිනිගත්හේන රෝහල වෙත රැගෙන යන බව පවසා එම ත්‍රිරෝද රථ රියැදුරා පාසල් සිසුවා ත්‍රිරෝද රථයට නංවාගෙන රැගෙන ගොස් ගිනිගත්හේන කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල ප්‍රදේශයේදී සිසුවාට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස පවසා රු.500 මුදලක් ලබා දී සිසුවාව ප්‍රධාන මාර්ගය අභියස දමා ගොස් තිබේ.

තුවාල ලබා ප්‍රධාන මාර්ගය අභියස වැටී සිටි පාසල් සිසුවාව ප්‍රදේශවාසීන් එක්ව ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු සිසුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇත. පාසල් සිසුවා අනතුරට පත් කළ ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ ගිනිගත්හේන පොලිසිය අනතුර සිදු කළ ත්‍රිරෝද රථ රියැදුරා සහ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථය සහ රියැදුරා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ගිනිගත්හේන පොලිසිය පැවැසීය.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment