පාස්කු ප්‍රහාරයට ඇල්ලූ තිදෙනකුගෙන් පොලිසිය උසාවියේදී වැඳ සමාව ගනී

672

සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් 2019.04.21 වැනිදා පාස්කු ප්‍රහාර මාලාව එල්ල කිරීමෙන් පසුව සහරාන්ගේ සගයන් බවට චෝදනා කරමින් සැකපිට අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මාස හයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මුස්ලිම් ජාතිකයන් තිදෙනකුගෙන් හොරව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා, කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීහු පස්දෙනෙක් ඊයේ (01දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී සිංහල ක්‍රමයට වැඳ ආචාර කර සමාව අයැද සිටියහ.

නිසි සොයාබැලීමකින් තොරව අභූත චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීම හා නීති විරෝධී ලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට නිගමනය කරන ලෙස ඉල්ලා පාසල් ගුරුවරයක, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන සහකාරවරයකු ඇතුළු තිදෙනකු ගොනු කර තිබූ පෙත්සම් තුනක් කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශ්වයේ එකඟතාව ඇතිව එලෙස විවෘත අධිකරණය හමුවේදී සමාව ගත්හ.

එම පෙත්සම්කරුවන් තිදෙනාට අමතරව තවත් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කර තිබූ අතර ඔවුන් දෙදෙනා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී එලෙස රඳවාගෙන සිටි හා නඩු කටයුතු අවසන් වූ වසර තුනක් සඳහා, රජයේ සේවකයන් ලෙස කටයුතු කළ තමන්ට හිමිවිය යුතු උසස්වීම් යනාදි වරප්‍රසාද අහිමිවීම නිසා නඩු කටයුතු කෙටියෙන් අවසන් කර ගැනීමට එම පෙත්සම්කරුවන් දෙදෙනා එකඟ නොවීම නිසා 2024.11.11දා එකී පෙත්සම් විභාගය ආරම්භ කිරීමට එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන විනිසුරු මඬුල්ල තීරණය කළහ.

එම පෙත්සම් තුන ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කරුණු දක්වමින් පෙත්සම්කරුවන්ට එරෙහිව සිදුකළ පූර්ණ විමර්ශනවලින් අනතුරුව ඔවුනට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවූ බැවින් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුත්ත අවසන් කර සැකකාර පෙත්සම්කරුවන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගත් බව පැවැසීය.

තමන් අත්අඩංගුවට ගත් පසු 2019.05.25 වැනිදා මෙරට ප්‍රධාන පුවත්පතක (දිවයින නොවේ) මුල් පිටුවේ සහරාන්ගේ ගෝලයන් පස්දෙනා ළඟ රුපියල් කෝටි 100ක මුදල් යන ප්‍රධාන සිරස්තලය යටතේ තමන්ගේ ඡායාරූප ද භාවිත කරමින් අසත්‍ය ප්‍රවෘත්තියක් පොලිසිය උපුටා දක්වමින් පළකර ඇති බවත් වසර තුනකට පසුව තමන් සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළත් එමඟින් සිදුවූ අවමානය ඉවත් නොවන බවත් පෙත්සම්කරුවන් සිය මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි. නීතිඥ වාසනා වික්‍රමසේකර මහත්මියගේ උපදෙස් මත නීතිඥ තාහිරා හාපිර් මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ අර්විසා ටීගල් මහත්මිය පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

එම පෙත්සම්කරුවන් පස්දෙනා විවෘත අධිකරණය ඉදිරියට ගෙන් වූ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ එස්. තුරෙයිරාජා මහතා පෙත්සම්කරුවන්ගේ අභිමතය විමසා ද්‍රවිඩ භාෂාවෙන් සියලු කරුණු පහදා දුන්නේය.

එක් පොලිස් නිලධාරියකු හැර අනෙක් වගඋත්තරකාර පොලිස් නිලධාරීහු සිවුදෙනාම නිල ඇඳුමෙන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment