පැය 10ක් සීඅයිඩීයේ සිටි කෙහෙළිය අත්අඩංගුවට

136

අද අධිකරණයට

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් තොගයක් රජයේ රෝහල්වලට බෙදා හරිමින් සිදුකළ බව කියන රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (02දා) පැය දහයක පමණ කාලය ප්‍රශ්න කිරීමෙන් පසු රාත්‍රී හතට පමණ ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි. ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හාරයේ රඳවා සිටි ඔහු අද (03දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා ඊයේ පෙරවරු 09.00 ට පමණ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු එහි පැමිණ තිබුණේ නැත.

පසුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා වෙත දැනුම් දීමක් කර තිබිණි. එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙසයි. එමෙන්ම හිටපු ඇමැතිවරයාගේ ගුවන් ගමන් තහනම් කරමින් නියෝගයක් ලබාදීමට ද මහෙස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට බෙදාහරිමින් සිදුකළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 06 දෙනකු මේ වන විට බන්ධනාගාරගත කර ඇත. එක් අයකුට පෙරේදා ඇප ලැබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment