පිංකම් ගෙදරදී බහින්බස්වූ පොහොට්ටු මන්ත්‍රී අහසට වෙඩි තබා පලාගිහින්

272

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ලලිත් වර්ණකුමාර මහතා ඊයේ (08 දා) අලුයම හොරණ, දොඹගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී අහසට වෙඩිතබා පලාගොස් ඇති බවට ලද තොරතුරක් ඔස්සේ අඟුරුවාතොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දොඹගොඩ යුද හමුදා නිවසක මියගිය තැනැත්තියකගේ තෙමස් පූර්ණ පිංකමක් පවත්වා ඇති අතර ඒ සඳහා මන්ත්‍රීවරයාට ලද ආරාධනයකට අනුව ඔහු සහභාගි වී ඇත.

එහිදී මන්ත්‍රීවරයා නිවසේ සිටි පිරිසක් සමග ඇතිවූ කතාබහ බහින්බස් වීමක් දක්වා දුරදිග ගොස් පසුව සමථයකට පත්ව මන්ත්‍රීවරයා ඉන් පිටත්ව ගොස් ඇතැයි සඳහන් වේ.

නැවත සුළු වේලාවකින් පසු එහි පැමිණ ඇති මන්ත්‍රීවරයා පැමිණි රථය දෙසින් නිවස දෙසට සහ අහසට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර හොරණ දෙසට පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් අනතුරුව නිවෙස් හිමියා අඟුරුවාතොට පොලිසියට දැනුම්දීම් කර ඇති අතර ඉන් අනතුරුව අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍ර. පො. ප. රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම, චන්දන පෙරේරා – ගල්පාත

advertistmentadvertistment
advertistmentadvertistment