පියා රෝහලින් රැගෙන එද්දී ධාවනය වන ත්‍රිරෝදයට අත්තක් කඩාවැටී මව පියා සහ පුතුන් දෙදෙනාට බරපතලයි  

435

ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ කොට්ටව ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝදයක් මතට වන රක්ෂිතයේ තිබූ හොර ගසක අත්තක් පෙරේදා (13 දා) පස්වරුවේ දී කඩාගෙන වැටීමෙන් ත්‍රිරෝදයේ ගමන් ගත් එකම පවුලේ සිව්දෙනකු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

මෙසේ බරපතළ තුවාල ලබා ඇත්තේ එකම පවුලේ මව, පියා සහ පුතුන් දෙදෙනෙකි. මව සහ පුතෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

මොවුන් හිනිදුම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. පියා සහ මව 58 හා 56 වැනි වියේ පසුවන අතර පුතුන් දෙදෙනා 30 හා 26 වැනි වියේ පසුවෙති. පියා කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත. පියා රෝහලින් නිදහස් කරගෙන ත්‍රිරෝද රථයෙන් නිවස වෙත යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. කොට්ටව රක්ෂිතයේ තිබු අඩි 150ක් පමණ උසින් යුතු පැරණි හොර ගසක් තවත් හොරගසක් මතට කඩාගෙන වැටීමෙන් එම ගසේ අත්ත ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය මතට වැටී ඇති බැව් පොලිසිය පවසයි.

ත්‍රිරෝදය මතට වැටී තිබූ හොර ගසේ අතු ඉවත් කිරීමට යක්කලමුල්ල පොලිසියේ නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබීය. යක්කලමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. චන්දන හේවගේ මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්, අහංගම – සුගතපාල දීයගහගේ සහ වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment