පුංචි ඡන්දයට නම් දීම ජනවාරි මුල

134

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා පත්‍ර කැඳවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම ලබන 2 වැනිදාත් 5 වැනිදාත් අතර දිනකදී සිදුවන බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

නාමයෝජනා පත්‍ර කැඳවීම දැන්වීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල හා පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ගැසට් නිවේදනය නිකුත් කර දින 14 ක් සම්පූර්ණ වන දින සිට දින තුනහමාරක් නාමයෝජනා පත්‍ර භාර ගැනීම සිදුවෙයි.

නාමයෝජනා පත්‍ර භාර ගැනීම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි කාර්යාලයේදී සිදුකෙරේ. නාමයෝජනා පත්‍ර භාර ගන්නා අවසන් දිනයේදී ඡන්ද විමසීම සිදුකරන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඡන්ද විමසීම සිදුකිරීම සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මුද්‍රණය, ඡන්ද පෙට්ටි සැකසීම, නිලධාරීන් නම් කිරීම ඇතුළු සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇති බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

නාමයෝජනා පත්‍ර භාර ගැනීමේ නිවේදනය මෙම සතියේ සිදුකිරීමට මීට පෙර තීරණය කර තිබූ නමුත් පසුගියදා රැස්වූ මැතිවරණ කොමිසම ජනවාරි මස මුල් සතියේදී කැඳවීමට තීරණය කෙරිණි. නාමයෝජනා දැන්වීම නිකුත් කිරීමට දින දෙකකට පෙර මැතිවරණ කොමිසම ඒ බව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment