ශ්‍රවණ උපකරණ ගන්න උදව් ඕනෑ

56

රතනපුර, පල්ලෙබැද්ද, කොස්වැටිය, තිත්තවැල්ල පාරේ, අංක 242/3 දරණ නිවසේ පදිංචි 12 හැවිරිදි යසිරු බණ්ඩාර පුතණුවන්ගේ එක් කණකට සවිකර ඇති ශ්‍රවණ උපකරණයේ බැටරිවල සහ කොයිල් එකේ ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් හීන වෙමින් පැවතීම නිසා එම උපකරණ මිලට ගැනීමට උදව් උපකාර කර පුතුට ඉගෙනීමට ශක්තියක් වන්නැයි මව වන කේ. එල්. එච්. දයාවතී මහත්මිය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කළාය.

ඇය පසුගිය 27 වැනිදා කොළඹ බ්ලූමැන්ඩල් පාරේ ‘දිවයින’ ප්‍රධාන කාර්යාලයට ශ්‍රවණාබාධිත සිය පුතු සමඟ පැමිණ මෙම ඉල්ලීම කළාය.

එම උපකරණයට අවශ්‍ය කොයිල් එක හා බැටරි දෙක සඳහා රුපියල් එක්ලකෂ හත්දාහක් පමණ වැයවන බවද ඇය කියා සිටියාය.

තවදුරටත් කතා කළ දයාවතී මහත්මිය මෙසේ පැවසුවාය.

මගේ පුතා සාමන්‍ය පාසලක 7 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. පුතා ඉපදෙන විටත් පුතාට ශ්‍රවණාබාධය තිබුණා. කන් දෙකම ඇසුනේ නැහැ. පුතා කතා කළෙත් නැහැ. මේ නිසා පුතාට 2015/04/29 වැනිදා ‘කර්ක ශංඛ බද්ධ” සැත්කමක් කළා. ඒ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදී. එහිදී සිදුකරපු සැත්කමෙන් පස්සෙ පුතාට ශ්‍රවණ හැකියාව වගේම කථන හැකියාවද ලැබුණා. ඒ සැත්කම මගින් පුතාගේ දකුණු කණට රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා ශ්‍රවණ උපකරණයක් සවි කළා.

සාමාන්‍ය කන් ඇසෙන දරුවන් සමග අධ්‍යාපනය ලැබූවත් දරුවා පහේ ශිෂ්‍යත්ව විභාගය සඳහා විශේෂ අවශ්‍යතා යටතේ අයැදුම් කළා. පුතු පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ද සමත් වුණා. පුතා එදින හුඟක් සතුටු වුණා. දැන් තියෙන ප්‍රශ්නය දරුවාගේ ශ්‍රවණ උපකරණයේ බැටරිවල හා කොයිල් එකේ ක්‍රියාකාරිත්වය ක්‍රම ක්‍රමයෙන් හීන වී යන ප්‍රශ්නයයි. මේ බැටරි දෙක හා කොයිල් එක ලබාගන්න උදව් උපකාර කරන්න කියලා ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. දරුවාට ඇසෙන ඇසෙන වචනයක් පාසා ඒ පින ඔබ සැමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

මේ දරුවාට අවශ්‍ය බැටරි දෙක හා කොයිල් එක මිලදී ගැනීමට උදව් උපකාර කිරීමට කැමැති නම් දයාවතී මහත්මියගේ 0713- 654625 යන දුරකථන අංකයට අමතන්න.

මුදල් ආධාර කිරීමට කැමැති නම් ගොඩකවෙල මහජන බැංකු ශාඛාවේ 245-2001-200-49307 යන දයාවතී මහත්මියගේ ගිණුම් අංකයට බැර කරන ලෙස ද ඇය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරන්නීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment