මලිත් සහ යසිරු දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති – සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල

148

වලලේ බලය ලයිසියම්ට යට වෙයි

36 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලබන්නට කහවත්ත මධ්‍ය මහා විදුහලේ කේ. වී. මලිත් යසිරු සමත් වූ අතර මධ්‍යම පළාතේ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල නියෝජනය කළ තරුෂී දිල්සාරා කරුණාරත්න දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

අවුරුදු 20 න් පහළ

තුන් පිම්ම ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ මීටර් 15.93 ක දක්ෂතාව පදනම් කර ගනිමින් මලිත් යසිරු ද

අවුරුදු 20 න් පහළ

මීටර් 400 ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ තත්. 53.21 දක්ෂතාව පදනම් කර ගනිමින් තරුෂී දිල්සරා කරුණාරත්න ද එම සම්මානවලින් පිදුම් ලැබූහ.

දක්ෂතම ජවන ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට පිදෙන සම්මානය ද තරුෂී දිල්සරා කරුණාරත්නට හිමි වූවාය.

දක්ෂතම පැනීමේ ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට පිදෙන සම්මානය කේ. වී. මලිත් යසිරු හිමිකර ගත්තේය.

කඩුළු මතින් දිවීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් පිදෙන සම්මානය හිමි කර ගැනීමට උඩබුලත්ගම අඹගමුව මධ්‍ය මහා විදුහල නියෝජනය කළ එල්. අයෝමාල් අකලංක සමත් විය. අවුරුදු 18 න් පහළ බාලක මීටර් 400 ඉසව්වේ රන් පදක්කම සමගින් තත්. 51.10 ක් වූ නව තරග වාර්තාවක් බිහි කිරීමට ඔහු සමත් වූයේය.

මාතර රාහුල විදුහල නියෝජනය කරමින් අවුරුදු 16 න් පහළ බාලක කවපෙත්ත විසි කිරීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් එස්.ජී.එල්. බිනිඳු බෝජිත මෙවර තරගාවලියේ දක්ෂතම විසි කිරීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සඳහා පිදෙන තිළිණයට හිමිකම් කීය.

ඒ මීටර් 55.40 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි.

දිවයිනේ පළාත් 09 ක් අතරේ පුරා දින පහක් තිස්සේ ක්‍රියාත්මක කෙරුණු 36 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව තහවුරු කර ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ, ප්‍රසාද ලකුණු 1224.5 කට හිමිකම් කියමිනි.

එකී අනු ශූරතාව මධ්‍යම පළාත (ලකුණු 556) ට හිමි වන අතර වාරයේ දී තෙවන ස්ථානය ආරක්ෂා කර ගැනීමට දකුණු පළාත (ලකුණු 339) ට හැකි විය.

තරගාවලියේ සමස්ත බාලක ශූරතාව දිනා ගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 90) නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූ අතර අනු ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 84) ට හිමි විය.

මෙවර බාලිකා ශූරතාව ඉතිහාසයේ ප්‍රථම වතාවට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 160) සතු විය.

එකී අනු ශූරතාවයෙන් සෑහීමට පත්වන්නට වලල ඒ රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 149) ට සිදු විය. පුරා වසර 19 ක් තිස්සේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා බාලිකා සමස්ත ශූරතාව තහවුරු කර සිටි වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහලට ඒ අනුව දෙවැනි ස්ථානය හිමි වීමද විශේෂත්වයක් ගත්තේය.

සමස්ත බාලක තෙවන ස්ථානය කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල (ලකුණු75) ට ද බාලිකා තෙවන ස්ථානය අඹගමුව මධ්‍ය මහා විදුහල (ලකුණු 63) ට හිමි විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment