පූජක දිවියේ ස්වර්ණ ජයන්තිය සමරන රත්නපුර රදගුරු ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපාණෝ

39

සීදුව මීසමේ ආදර්ශවත් හා භක්තිමත් කතෝලික පියකු හා මවක වූ පී. ජෝසප් එලියට් පෙරේරා සහ කේ. රොස්ලින් සිල්වා යුවළට දාව අතිඋතුම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපාණන් 1947 සැප්තැම්බර් මස 06 වැනි දින උපත ලැබීය. දරුවන් සතර දෙනකුගෙන් සමන්විත පවුලේ ක්ලීටස් චන්ද්‍රසිරි දරුවා දෙවැනි දරුවා වූ අතර ඔහුට වැඩිමලා පිරිමි සහෝදරයා විය. ක්ලීටස් චන්ද්‍රසිරි දරුවාට වයසින් බාල දරුවන් දෙදෙනා ඔහුගේ බාල පිරිමි සහෝදරයා හා බාල සහෝදරිය ලෙස පවුලට එක්ව සිටියහ. කුඩා කල ළමා අවධියේ සිටම ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන්ගේ සිත මීසමේ හා දෙව්මැඳුරේ විවිධ කිතුනු සේවා කටයුතුවලට හා ගායනා කණ්ඩායමේ ගීතිකා ගායනා කටයුතුවලට යොමු විය. ඒ වනවිට සීදුව මීසම් සේවක පියතුමා වශයෙන් සේවය කළ පැටි්‍රක් ප්‍රනාන්දු පියතුමා, ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන්ගේ දේව කැඳවීම මැනවින් අවබෝධ කරගෙන සිටියේය. පැටි්‍රක් ප්‍රනාන්දු පියතුමා ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන්ට අවශ්‍ය ශුද්ධාත්ම මඟපෙන්වීම හා ශ්‍රාවකත්වය නිරතුරුව ලබා දීමට කටයුතු කළේය. පැටි්‍රක් ප්‍රනාන්දු පියතුමාගෙන් ලද පන්නරය ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන් මීසමේ, දෙව්මැඳුරේ හා ගායනා කණ්ඩායමේ ගීතිකා ගායනා කටයුතුවලට වඩ වඩාත් ළං කෙරිණ.

සීදුව දවි සමර ජාතික පාසලෙන් කනිටු අධ්‍යාපනය ලබාගත් ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන් රෝමයේ සාන්ත ඇන්සලම් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබ සිය දේව කැඳවීම උදෙසා මූලික අඩිතාලම දැමීමට පියවර ගත් අතර මහනුවර අම්පිටිය මොන්ටෙෆානෝ බෙනදිකාන නිකායේ තාපසාරාමයට ඇතුළු විය. එහිදී ක්‍රිස්තු ශ්‍රාවකත්වය සහ දේව කැඳවීම ගැඹුරින් අධ්‍යයනය කරමින් පුහුණුව ලැබූ ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන් ඉංග්‍රීසී භාෂාව හා ලතින් භාෂාව ද විශිෂ්ට ලෙස ප්‍රගුණ කළේය. අනතුරුව පූජක පුහුණුව හා දර්ශන වාදය සහ දේවධර්ම ශාස්ත්‍රය හැදෑරීම සඳහා අම්පිටිය ජාතික දෙව්සත්හලට ඇතුළු විය. මහනුවර අම්පිටිය මොන්ටෙෆානෝ බෙනදිකාන තාපසාරාමයේ හා අම්පිටිය ජාතික දෙව්සත්හලේ පූජක පුහුණුව අවසන් කළ ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන්ට මහනුවර පදවියේ රදගුරුව සිටි පෝල් පෙරේරා හිමිපාණන් විසින් තේවාචාර්ය වරම් දානය කර අනතුරුව එතුමන්ට 1973 අගෝස්තු මස 04 වන දින එතුමන් විසින්ම පුජකවරම් දානය කර පුජකවරයට ඔසවා තිබේ.

මහනුවර කුණ්ඩසාලේ මීසම් සහායක පියතුමන් ලෙස සිය පළමු පත්වීම ලැබ දේව සේවය ආරම්භ කළ ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා රදගුරු හිමිපාණන් කුණ්ඩසාලේ මීසම් සේවයට අමතරව මහනුවර මහ රෝහලේ කතෝලික උපාධ්‍ය පියතුමන් ලෙස සේවය කිරීම සඳහා ද ඒ සමග පත්ව තිබේ. අනතුරුව මීසම් සහායක හා මීසම් සේවක පියතුමන් ලෙස මහනුවර පදවියේ මීසම් රැසක හා කොළඹ පදවියේ රාජගිරිය මීසමේ ද සේවය කර තිබෙන එතුමන්ට සිය පූජක දිවියේ දේව සේවය උදෙසා නව කාර්යභාරයක් ඉටුකිරීමට කැඳවීමක් 2007 වර්ෂයේ සනිටුහන් කෙරිණ. රත්නපුර පදවියේ දෙවන රදගුරු හිමිපාණන් ලෙස සේවය කරමින් සිටි හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරු හිමිපාණන් ශුද්ධාශනය විසින් කුරුණෑගල පදවියේ රදගුරු හිමිපාණන් ලෙස පත්කර යැවීමත් සමග මහනුවර පදවියේ දේව සේවයෙන් සමුගැනීමට ක්ලීටස් චන්ද්‍රසිරි හිමිපාණන්ට සිදුවිය. 2007 මැයි මස 04 වැනි දින ශුද්ධාශනය විසින් එතුමන් රත්නපුර පදවියේ තෙවන රදගුරු හිමිපාණන් ලෙස නම් කරනු ලැබීය. ජෝසප් වියානි ප්‍රනාන්දු හිමිපාණන් විසින් 2007 ජූලි මස 11 වැනි දින රෝමයේ අපෝස්තලුවරු දොළොස්දෙනාගේ බැසිලිකා දෙව්මැඳුරේදී එතුමන්ට රදගුරු වරම් දානය කිරීමේ රදගුරු අභිෂේකප්‍රාප්තිය සිදු කෙරිණ. අනතුරුව ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා සා. බෙ. නි. හිමිපාණන් 2007 ජූලි මස 28 වැනි දින රත්නපුර පදවියේ දේව ජනතාවට දේව සේවය ඉටු කිරීමේ නව ධර්මදූතික සේවය ආරම්භ කළේය.

ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා සා. බෙ. නි. හිමිපාණෙනි, ඔබවහන්සේට ක්‍රිස්තු ශ්‍රාවකත්වය තුළ සමිඳාණන්ගේ දිරිය හා සවියත් සුවයත් දෙවි මහෝත්තමයාණන් වහන්සේගේ ප්‍රේමාන්විත ආශිර්වාදයෙන් නිරතුරුව වැඩි වැඩියෙන් ලැබේවා.

ජෝ. ඇ. සකරායස්

advertistmentadvertistment
advertistmentadvertistment