පොලිස්පතිගේ පත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

96

දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය 26 වැනිදා සිට පොලිස්පතිවරයා ලෙසට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ලබාදුන් පත්වීමේ ලිපිය බලරහිත කර ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයට අනුබද්ධිත දූෂණ විරෝධී කමිටුවේ කැඳවුම්කරු අජන්ත නිරෝෂන් පාදුක්ක සහ කමිටු සාමාජික ආනන්ද පාලිත යන මහත්වරුන් ඊයේ (07 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කථානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාවට කළ නිර්දේශය බලරහිත කරන ලෙසත් ඔහුට පොලිස් දෙපාර්තමේන්තුවේ කිසිදු තනතුරක් දැරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් එමගින් ඉල්ලා තිබේ.

පුද්ගලයකුට වධහිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ජාතික පොලිස් කොමිසමට මේ වනවිටත් නියෝග කර ඇති බැවින් ඔහුට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝගයක් කරන ලෙසත් එමගින් ඉල්ලා තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතාට අමතරව කථානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව හා නීතිපතිවරයා ඇතුළු 17 දෙනකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment