පොලිස් ආරක්ෂාව ලැබුණොත් තැපැල් ඡන්ද පත්‍රිකා දෙනවා

97

මුද්‍රණාලාධිපතිනි ගංගානි කියයි

පළාත් පාලන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා නිසි පොලිස් ආරක්‍ෂාවක් ලබාදෙන්නේ නම් තැපැල් ඡන්දයට අදාළ ඉතිරි කටයුතු දින 04 ක් 05 ක් තුළ සිදුකළ හැකි යැයි මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.

මේ වනවිට තැපැල් ඡන්දයට අදාළ කටයුතු සියයට 75ක් පමණ අවසන් කර ඇති බවත් පොලිස් ආරක්‍ෂාව නොමැතිව ඡන්ද කටයුතු කරගෙන ගොස් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එයට මුහුණ දීමට සේවකයන්ට නොහැකි බව ඔවුන් පවසන බවද ඇය කීවාය.

මැතිවරණ කටයුතු සිදුකර අවසන් වීමෙන් පසු මුදල් ලබාදෙන බවට මැතිවරණ කොමිසම විසින් ලිඛිතව දැනුම් දී ඇති බවත් ඇය කීවාය. එමෙන්ම මැතිවරණට අදාළ සිදු කරන මුද්‍රණවල ආරක්‍ෂාව සඳහා දහවල් කාලයට පොලිස් නිලධාරීන් 35 දෙනකු ද රාත්‍රි කාලයට නිලධාරීන් 25 දෙනෙක් ඉල්ලා පොලිස්පතිවරයාට සහ මැතිවරණ කොමිසමට ලිඛිතව ඉල්ලීම් කළත් 17 වැනිදා සවස වනවිටත් එම ආරක්‍ෂාව ලබාදී නැතැයි ද ඇය කීවාය.

මේ වනවිට සිදුකළ මුද්‍රණ කටයුතු කරගෙන යෑම සඳහා මුද්‍රණාලයට ලබාදී ඇති නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයකු ඒ සඳහා ක්‍රියා කළ බවත් ඇය කීවාය. වෙනත් මැතිවරණවල දී සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ පොලිස් මුරපොළක් යොදා ආරක්‍ෂාව ලබාදෙන බවද ඇය කීවාය. පොලිස් ආරක්‍ෂාව ඉල්ලා 2022 ජනවාරි 23, 26 සහ පෙබරවාරි 17 වැනිදා ඉල්ලීම් කළ බවද ඇය වැඩිදුරටත් කීවාය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment