පොලීසියේ 4ක් එංගලන්තයට පැනලා

2074

සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරනවා- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ජාත්‍යන්තර පොලිස් සංගමයේ හැට පස්වන සංවත්සර උත්සවයට සහභාගි වීම සඳහා ශ්‍රි ලංකාවෙන් එංගලන්තයට ගිය පොලිස් නිලධාරීන් පස් දෙනෙකුගෙන් සිව්දෙනකු සමුළුවෙන් පසු එරටදී අතුරුදන්වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ පොලිස් සැරයන්වරු දෙදෙනකු හා කොස්තාපල්වරුන් දෙදෙනෙකි. ඔවුන් හතරදෙනා පෞද්ගලික නිවාඩු ලබාගෙන එංගලන්තයේ පැවැති මෙකී සංවත්සර උත්සවයට සහභාගී වී තිබේ. ඔවුන් යළි සේවයට වාර්තා කළ යුතුව තිබුණේ ඉකුත් 03 වැනිදා වුවත් ඔවුන් තාමත් මෙරටට පැමිණ නැත.

මේ අතර ඊට සහභාගී වූ උප පොලිස් පරික්‍ෂකවරයා මාස හයක නිවාඩු අනුමත කරවා ගෙන එංගලන්තය බලා ගොස් ඇත. ඔහුට යළි පොලිස් සේවයට එක්වීමට මාස පහකට වඩා කාලයක් තිබෙන බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මෙම පොලිස් නිලධාරීන් පස්දෙනාම පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව කටයුතු කළ අයය.

මොවුන් ජාත්‍යන්තර පොලිස් සංගමයේ සාමාජිකයින් බව ද හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් “දිවයින” කළ විමසීමේදී ඒ මහතා කියාසිටියේ දින දහයක පෞද්ගලික නිවාඩු ගෙන එංගලන්තයට ගිය පොලිස් නිලධාරීන් හතරදෙනා සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බවය.

පෞද්ගලික නිවාඩු ලබාගෙන ඕනෑම අයකුට විදේශ රටක සංචාරය කිරීමට අයිතියක් තිබෙන බවත් පොලිස් නිලධාරීන් පස්දෙනාම එංගලන්තය බලා ගොස් ඇත්තේ ඒ පවතින අවසරය මත බවත් ඒ මහතා පැවසීය.

මීට වසර ගණනාවකට පෙර විදේශගත වූ ඇතැම් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු ඒ රටවල්වල නතරවී තිබූ මුත් මෑත කාලයේ එවැනි සිද්ධි වාර්තා වී නැතැයි ද තල්දූව මහතා කීය.

පොලිස් මූලස්ථානයේ අවසරය මත විදේශ පුහුණු හා ක්‍රීඩා උත්සවවලට විදේශ ගතවන පොලිස් නිලධාරීන් මෙලෙස යළි නොපැමිණියහොත් ඒ සම්බන්ධව ගත හැකි නෛතික පියවර කුමක් දැයි කළ විමසීමේදී තල්දූව මහතා කියාසිටියේ ඒ අයට විරුද්ධව විනයානුකූලව පියවර ගන්නවා හැර වෙන ගත හැකි ක්‍රියා මාර්ගයක් නොමැති බවය.

හේමන්ත රන්දුණු, ශිරාන් රණසිංහ, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment