බුත්තල ඇඟලුම් කම්හල කැලෑවට – ප්‍රදේශයේ තරුණ තරුණියන් 800 කට බඩේ පහර

36

ගමට සම්පත ඇඟලුම් කම්හල විවර කර දෙන්න
ප්‍රදේශවාසීහු වගකිවයුත්තන්ගෙන් ඉල්ලති

බුත්තල කාර්මික ජනපදයේ පවත්වාගෙන ගිය පෞද්ගලික සමාගමකට අයත් ඇඟලුම් කම්හල මේ වන විට වසා දමා වසර හතක් පමණ ගතවී ඇත. රුපියල් කෝටි ගණනක් වටිනා ගොඩනැඟිලි කැලෑවට යටවී විනාශවී දිරාපත් වෙමින් පවතී.

1992 බුත්තලදී පැවති ගම් උදාවට සමගාමීව බුත්තල කාර්මික ජනපදයේ පෞද්ගලික සමාගමක් විසින් මෙම ඇඟලුම් කම්හල ආරම්භ කරන ලදි.

ප්‍රදේශයේ තරුණ තරුණියන් 800 දෙනකුට පමණ මෙම ඇඟලුම් කම්හලෙන් රැකියා අවස්ථාවන් ලැබී තිබිණි. මීට වසර හතකට පමණ ඉහතදී ඇඟලුම් කම්හල වසා දැමුණු අතර සේවක සේවිකාවන්ට රැකියා අවස්ථා අහිමි වූහ.

මෙම ඇඟලුම් කම්හල ඇතුළු ඉඩම උකසට තබා විශාල ණය මුදලක් රාජ්‍ය බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් හිමිකාරීත්වය ලබාගෙන ඇත. දැනට සියලු දේපළ ණය මුදලට හිලව්වක් ලෙස රාජ්‍ය බැංකුවක් වෙත පවරා ගෙන ඇත. අවස්ථා කිහිපයකදී ගොඩනැඟිලි සහ ඉඩම වෙන්දේසි කිරීමට පියවරගෙන ඇතත් කිසිවකු මෙම දේපළ මිලදී ගැනීමට ඉදිරිපත්වී නැත. බැංකුව මඟින් මසකට රුපියල් ලක්ෂයක් පමණ ගෙවා එම දේපළ ආරක්ෂා කිරීමට පෞද්ගලික ආරක්ෂක සමාගමකට භාරදී තිබේ.

මේ වන විට අදාළ ආරක්ෂක සමාගමට රුපියල් ලක්ෂ 60 – 80 අතර මුදලක් ගෙවා ඇති බව දැනගන්නට ඇත.

ඇඟලුම් කම්හල් භූමිය සම්පූර්ණයෙන්ම කැලෑවට යටවී ඇති අතර ගොඩනැඟිල්ල විනාශවී දිරාපත්වෙමින් පවතී.

මේ පිළිබඳ අදාළ රාජ්‍ය බැංකුවේ මොනරාගල ප්‍රාදේශීය කළමනාකරු එම්.ඒ.එල්.ඒ. අජ්මාල් මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ,

මෙම ගොඩනැඟිල්ලේ සියලුම කටයුතු සිදුකෙරෙන්නේ බැංකුවේ ප්‍රධාන කාර්යාලය මඟින් නිසාවෙන් තමාට ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි.

මෙම ඇඟලුම් කම්හල යළි ආරම්භ කර තමන්ට අහිමි වූ රැකියා අවස්ථාවන් ලබාදෙන ලෙස ප්‍රදේශයේ තරුණ තරුණියෝ වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment