සෝම හිමි 20 වන අනුස්මරණය නිමිත්තෙනි.

සම්බුද්ධ ශාසනයේත්, සිංහල බෞද්ධ සංස්කෘතියේත් චිර පැවැත්ම ද බෞද්ධ ජනතාවගේ පමණක් නොව අනෙක් ශ්‍රී ලාංකික ජන කොටස්වල අධ්‍යාත්මික සන්තුෂ්ටිය ද සත් චරිත වර්ධනය ද උදෙසා අප්‍රමාණව ද අකම්පිතව ද කැපවෙමින් සාඩම්බර ධර්ම චාරිකාවක නිරතව සිටියදී නොකල්හි අපවත් වූ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ විසිවන ධර්ම අනුස්මරණය මෙම දෙසැම්බර් 11 වන දිනට යෙදී තිබේ. උන්වහන්සේ වූ කලී කවර දේශයක, කවර යුගයක වුවද අතිශය සුදුර්ලභව පහළ විය හැකි යතිවරයෙක් වූහ. භික්ෂුත්වයෙහි ශ්‍රේෂ්ඨත්වය හා පරමාර්ථය කුමක්ද? කෙසේද? යන කරුණු විග්‍රහ කළ බුදුන්වහන්සේගේ සුභාවිත විවරණය මෙසේ විය.

යො හවේ දහරොභික්ඛු
යුක්‍ද්ජති බුද්ධ සාසනෙ
සො ඉමං ලෝකං පභාසෙතී
අඛීභා මුත්තොව චන්දිමා


ධම්මපදය – භික්ඛු වග්ගය

(යම් භික්ෂුවත් ළදරු වුවත්, බුදු සස්නෙහි මනාව යෙදී සිටිත්නෙහිද හේ වළාකුලෙන් නික්මුණු පුන් සඳ මෙන් මේ ලොව බබලවන්නෙහිය.)

ඒ බුද්ධ භාෂිතය අනුව සෝම හිමියෝ ස්වකීය අනූපම ධර්ම පාණ්ඩිත්‍යයෙන් මෙම ධර්මද්වීපය උප්වලිත කළාවූ ප්‍රඥා ප්‍රදීපස්ථම්භ යති පරපුරටම අයත් වන්නාහුය. එබඳු යතිවරයකුගේ අපවත්වීම අතිශය ධර්ම සංවේගය දනවන්නකි. එසේ වුවද උන්වහන්සේගේ සද්ධර්ම චාරිකා නොඉවසූ අල්පශ්‍රැත අල්පපඨිත ගිහි පැවිදි ස්වල්ප දෙනෙක් හෝ එකල විසූහ. බුදුන්වහන්සේගේ ධර්ම මාර්ගය අනුදත් සුපටිපන්න, උජුපටිපන්න භික්ෂූන් වැඩවසන සමයක වුවද ශාසන සම්ප්‍රදායට අගරු කරන, ධර්මය විලෝපනය කරන චීවරධාරීහු සිටිතියි බෞද්ධ සාහිත්‍යයේත් ධර්ම ග්‍රන්ථවලත් සඳහන්ව ඇත.

සෝම හිමියෝ ඒ දුෂ්මාර්ගයට එරෙහිව නැගී සිටියහ. භික්ෂුව වනාහි රෝගී සමාජයක ජීවත්වන නිරෝගී මෙන්ම උජුපටිපන්න ගුණෝපේත වීර චරිතයක පරමාදර්ශය බව උන්වහන්සේගේ අවධාරණය විය. බුද්ධ භාෂිතය උපුටා දක්වමින් උන්වහන්සේ දේශනා කළේ භික්ෂුව අපරාජිතයකු බවය. ධෛර්යෙන්, වීර්යයෙන් සමාජයට මඟ පෙන්වන, ප්‍රශ්න, අභියෝග ගැටලු අබියස පලා නොයන ඒ පෞරුෂය බුද්ධ පුත්‍රයන් සතු පරම ගුණයක් ලෙස ද සෝම හිමියෝ දුටහ. මේ උන්වහන්සේගේ අනුශාසනාවකින් බිඳකි.

“බලන්න පින්වතුනි, ඔබේ වන්දනාවට පූජාවට නිමිති වන භික්ෂූන් වහන්සේ කෙබඳු කෙනෙක් ද කියලා. මේ සමාජය වෙලාගත් මිත්‍යා දෘෂ්ටීන්, දේශපාලන ආකල්ප, පක්‍ෂග්‍රාහී බදා ගැනීම් ආදියෙන් තොරව හරියට උල්කාපාතයක් වගේ, ප්‍රදීපාගාරයක් වගේ සියල්ලන්ට ම ආලෝකය දෙන්නේ භික්ෂූන් වහන්සේ බව මතක තියා ගන්න. එනිසා මේ සමාජයේ ජීවත්වන විචාරශීලී පුද්ගලයා ආදානග්‍රහයෙන් මිදුනු පුද්ගලයා භික්ෂුවයි. රජතුමාට රට වැසියාට ගරු කරනවා. ඒ වගේ ම පාලකයාටත් අද ගරු කරනවා. ඒ උනත් ධර්මය අනුව ජීවත්වන භික්ෂූන් වහන්සේගෙන් තමයි රජුත් – පාලකයත් අවවාද ලබා ගත්තේ. ඒත් අද ඒ අභිමානවත් සම්ප්‍රදාය, ප්‍රතිපත්තිය අභාවයට යමින් තිබෙනවා. රජුට, පාලකයට බියෙන් සත්‍ය යටපත් කරන, ධර්මය ගැන විශ්වාසයක් නැති සමාජයක් බිහිසුණුයි. විපත්තිදායකයි. අනතුරු සහිතයි. ලාභ, ප්‍රශංසා, කීර්තති, බලය උදෙසා බොරුව, වංචාව දුසිරිත රැකීම භික්ෂුවට අනුමත කරන්න බැහැ.”

සෝම හිමියෝ ගමින් ගමට මැද නුවරින් නුවරට වඩිමින් මහා ජන ගංගා මැද නිහතමානීව රැයත් දහවලත් නොබලමින් වදාළේ ඒ බෞද්ධ සාර ධර්මයේ ගාමීභීර ප්‍රතිපත්තියයි.

සෝම හිමියන්ගේ දේශනා මාලාවේ තේමාව බවට සිංහල බෞද්ධ සංස්කෘතිය සුරැකීම පත්ව තිබුණු නමුදු උන්වහන්සේ අන්‍යාගමික හා වෙනත් ජනවර්ගවලට ද ආමන්ත්‍රණය කිරීමට පුරුදුවී සිටියහ. භික්ෂුවගේ උරුමය රටට පැවසීම ද උන්වහන්සේ තුළ නිරන්තරව තිබුණු අරමුණකි. ගිහියන් විශේෂයෙන් පාලකයන් වෙනුවෙන් ප්‍රශස්ති ගැයීම උන්වහන්සේට නුහුරුය. මෙරටේ ජාතික නිදහස වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනකොටස් එක් වුවත් අද ඇතැම් නායකයන් වර්ගවාදී උසිගැන්වීම් කරන බවද උන්වහන්සේගේ විවෘත චෝදනාව විය. දෙස, බස, රැස සුරැකීම ජාතිවාදය ලෙස දකින ඇත්තන්ගේ මුළාව ගැන අනුකම්පා කළ යුතු බව සෝම හිමියෝ අවධාරණය කළහ. රීස්ඩේවිස් පඬිතුමා ඉංග්‍රීසියෙන් බෞද්ධ මූලධර්ම ජාත්‍යන්තරයට ගෙන ගිය ආකාරයට ම දෙමළෙන් ඒවා විග්‍රහ කළ පඬිවරුන් සිටි බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ. එපමණක් නොව දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ භික්ෂූන් වහන්සේ වැඩ විසූ බව ද ඔවුන්ගේ ද්‍රවිඩ බෞද්ධ ලේඛන නිසා දෙමළ ජනතාව බුදුදහමට ගරු කළ බවද උන්වහන්සේ පැවසූහ. කුල භේදය උසස් පහත් බව සමාජයෙන් දුරැලීමට අභීතව අනලස්ව ඉදිරිපත්වූ බුදුන් වහන්සේට විශේෂයෙන් කුල පීඩනයට පත් ජනතාව ගරු කළ බව ද සෝම හිමියන් නිබඳව සඳහන් කළ කරුණකි.

“මං පුංචි කතාවක් කියන්නම්. දවසක් ආනන්ද හාමුදුරුවෝ ගම්මානයක කුඩා මාර්ගයක ගමන් කරමින් සිටියා. ඒ ගම දරුණු කුල පීඩනයක් තිබුණු ගමක්. ඒ පාර දිගේ ඉස්සර යද්දි ආනන්ද හාමුදුරුවන්ට දැඩි පිපාසයක් ඇතිවුණා. වටපිට බලද්දී ඈත පුංචි ගෙයකට නුදුරු ළිඳකින් වතුර අඳින යුවතියක් දැක්කා. ආනන්ද හාමුදුරුවෝ ඒ කිට්ටුවට වැඩලා අර යුවතියට කියනවා “නැඟණිය මට පැන් ටිකක් දෙන්න පුළුවන්ද කියලා.” යුවතිය කියනවා. අපි ඉතා පහත් කුලවල ඇත්තෝ. මේ ගම්වල කුලීන උදවිය අපිත් එක්ක වචන මාත්‍රයක්වත් කතා කරන්නෙ නෑ. මං බැරිවෙලා හරි මෙහෙම කතා කළා කියලා ආරංචි වුණොත් මට දඬුවම් දෙයි.

ආනන්ද හාමුදුරුවෝ ඒවා කිසිම දෙයක් ගනනකට ගත්තෙ නෑ. “නැඟණිය මං බුද්ධ පුත්‍රයෙක්. මගේ ශාස්තෲවරයාණන් වහන්සේ බුදු හාමුදුරුවෝ. මට ඔබ පැන් දුන්න කියල වරදක් වුණොත් මං ඒක බලාගන්නම්.

පස්සෙ ඒ යුවතිය ආනන්ද හාමුදුරුවන්ට පැන් පූජා කරනවා. ඒ කතාව තව හුඟක් දිගයි. පස්සෙ ඒ යුවතියගේ මව අපේ ආනන්ද හාමුදුරුවන්ට දුවව සරණපාවල දෙන්ටත් හිතනවා. ඒවා එකක්වත් සාර්ථක වෙන්නෙ නෑ. ඉතින් මේ නොමිනිස් සිරිත අද උතුරේ නැද්ද? ළිඳ තහනම් – කෝවිල තහනම්. ඒ දෙමළ නායකයෝ උතුරේ ජනතාවට සේවයක් කරයි ද? ඒ ජනතාව බුදු දහමට ගරු කරන්නේ එහි ගැඹුරු හරය වටහා ගෙනයි.”

මෙබඳු උදාහරණ උන්වහන්සේ සිය ධර්ම කතාවල අප්‍රමාණව දක්වා තිබේ. සරල බණ මෙන්ම ගැඹුරු සූත්‍ර ධර්ම, උපාහාස කතා, බමුණන්ට එදා සිදුවූ ඇබැද්දි මොන තරම් උන්වහන්සේගේ දේශනාවල අඩංගුවන්ට ඇද්ද? ඒ දහම් සභාවල තරුණ, තරුණියන්, සිය ගණනින් සිටි බවද මගේ මතකයට නැඟෙයි. ජාතක පොත, යශෝදරාවත පමණක් නොව, ජනවහරේ එන බොහෝ ප්‍රවාද පවා විචිත්‍ර ලෙස විග්‍රහ කිරීමට උන්වහන්සේට තිබුණු දස්කම් ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙස සෝම හිමියන්ට ඉමහත් ජනප්‍රසාදයක් ලබාගැනීමට ද හේතු වූවකි. එහෙත් උන්වහන්සේ ඒ ප්‍රසිද්ධියට, ප්‍රතිලාභවලට නොඇළුණු ඍජු පටිපන්න යතිවරයෙක් වූහ. උන්වහන්සේ තුළ මා දුටු තවත් සුවිශේෂ දෙයක් වූයේ තර්කය, බුද්ධිය තුළින් ස්වාධීනත්වය ඔසසේ ජනතාව යොමු කිරීමට වූ කුසලතාවය. බෞද්ධයා කාලාම සූත්‍රය කියවිය යුතු ‘පුරාතන’ වූ පමණින්ම කිසිවක් නොපිළිගත යුතු විචාරශීලි අයෙක් විය යුතු බව ද සෝම හිමියෝ ප්‍රකාශ කළහ. මේ උන්වහන්සේ වරක් සිය ධර්ම දේශනයක දී උපුටා දැක්වූ අපූරු කතාවකි.

“මෙන්න බලන්නකෝ ගුරුවරයා වුණත් අන්ධ භක්තියෙන් අනුගමනය කිරීම වැරැදි බව ඔප්පු කරන පුංචි කතන්දරයක්. ඔන්න එක මහ තෙරනමක් හිටියා. පිණ්ඩපාතෙ වඩින්න කලින් පාත්තරේ අරගෙන හිරුඑළියට අල්ලලා බලන සිරිතක් පුරුදු වුණා. ගෝලයොත් දැක්ක ගුරු හිමියන් පාත්තරේ එහෙම උඩට උස්සල බලනවා. මේ සිරිත එහෙම දිගට ම සිදුවුණා. හැබැයි ගුරු හාමුදුරුවෝ ඒක කළේ පාත්තරේ හිල්වෙලා තියෙනව ද බලල එතෙන්ට ඇඟිල්ල තියාගෙන පිණ්ඩපාතෙ පිළිගන්ට. ඒත් ගෝලයෝ ඒක අනුකරණය කළා මිසක් හේතුව දැනසිටියේ නෑ. ඒ නිසා ඔය පින්වතුන් දැනගන්න ඕනෑ බුදුදහමේ පදනම ප්‍රඥාව හා කරුණාව බව. මං මේ කතාව කිව්වෙ අන්ධ භක්තිය අනුකරණය හොඳ නැති බව කියන්ටයි.”

සෝම හිමියන් අවධාරණය කළේ භක්තිවාදය සාහිත්‍යයයෙන් පෝෂණය වුවත් එය පුද්ගලයා අඳුරෙහි තබන බවය.

බුදුන් වහන්සේ ශ්‍රද්ධාව විනා භක්තිය අනුදැන වදාළේ නැති බව තහවුරු කිරීමට බොහෝ විට උපුටා දැක්ම “යෝ ධම්මං පස්සති – සෝ මංපස්සති” යන පාලි පාඨ මගේ මතකයට නැඟෙයි. එහි අරුත වූයේ “යමෙක් ධර්මය දකී ද – හේ මා දකියි” යන්නය. බුදු දහම භක්තිවාදයක් නොවීය. සමාජය තළ ශ්‍රද්ධාව හා භක්තිය වරදවා වටහා ගන්නා ආකාරය රහසක් නොවේ. භක්තිය දේව සංකල්පයකි. අන්ධ විශ්වාස, මිථ්‍යා ඇදහිලි භක්තිය නිසා ඇතිවන දේවල්ය. බුද්ධත්වය, බුද්ධ චර්යාව, අනන්ත බුදු ගුණ අප කරුණු වශනේ දැන ගන්නා දේවල් බව උන්වහන්සේ පහදා දී තිබේ. එසේම බුදුන් වදාළේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බවය. සිව්පසය, ලාභ සත්කාර, ආරාම වැනි බොහෝ දේ බුදුන් වහන්සේට පූජා කරන බව බෞද්ධ සාහිත්‍යය යෙහිද දැක්වේ. එහෙත් බුදුහු ඒවාට ලොල් නොවූහ.

සෝම හිමියන්ගේ ධර්ම දේශනා මාලාව තුළ හුයක් මෙන් දැකගත හැක්කේ ද ශ්‍රද්ධාවට විනා භක්තියට මුල් තැන නොදිය යුතුය යන්නයි. මා මෙය දකින්නේ යථාර්ථවාදී ඥාන සම්පාදනයක් ලෙසය. බුදු සමය මැඬ පැතිරගිය හින්දු සමයක් එහි දේව සංකල්පයත් සෝම හිමියන්ගේ විවේචනයට නිබඳව ලක්වූවකි. උන්වහන්සේ අපේ බුදුගුණ අලංකාරය කළ වීදාගම යති පරපුරේ නූතන යතිවරයා දැයි මට බොහෝ අවස්ථාවල හැඟණි. මෙය එකල අතිශය විවාදාත්මක කරුණක් ද විය. එහෙත් උන්වහන්සේ බෞද්ධ සංස්කෘතිය තුළ ගැබ්වූ පූජා විධි විදුහුරුව පැවැත්වීම අනුමත කළ බවද අපට මතකය. බෝධි පූජා, පිරිත් මෙන්ම සම්‍යයක් දෘෂ්ටි දෙවියන් ද බැහැර නොකළ උන්වහන්සේ පොදුජන රුචිය ඇගයූ බව ද මම දනිමි.

මෙයට සති කිහිපයකට පෙර සමාජ සංවාදයට ලක්වූ පුවතක් විය. ඒ අවුකන පිළිම වහන්සේට සිවුරක් පැලඳවීමකි. මෙය බොහෝ අය හෙළා දුටුවේ විවිධ හේතු දක්වමින්ය. මෙය මෝඩ භක්තියෙන් මුළා වූ හෝ කැපී පෙනීම සඳහා හෝ කළ බව සමහරු කීහ. කුමක් වුවත් මෙය ගැඹුරින් විග්‍රහ කළ යුත්තකි. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය හා සත්‍යය නො ඉවසුවාක් මෙන් පසු කාලීනව ද විමුක්තිය පෙන්වා දුන් ආගමික කතුවරුන්ට අනතුරු පවා සිදුවූ බව අපි දනිමු.

ක්‍රිස්තුස් වහන්සේගේ අදහස්වලින් අපේක්ෂා භංගත්වයට පත්වූ යුදෙව් නායක පූජකයෝ ද උන්වහන්සේ කුරුස වධයට පමුණුවා ලූහ. සොක්‍රටීස්ට වස පානය කර මරු තුරුල ට යෑමට හේතුවූයේ ද දේව වාදයට එරෙහිවීම නිසාය. අවිහිංසාවාදය වෙනුවෙන් කැපවූ මහත්මා ගාන්ධිතුමන්ට සාහාසික ප්‍රහාරයකින් මිය යෑමට ද සිදුවිය. බුදුන් වහන්සේට එරෙහිව නැඟුණු දුෂ්ට හා සාහාසික ප්‍රතිචාරවලට හේතු වූයේ ද සත්‍යය හා සමාජ සාධාරණය වෙනුවෙන් මඟපෙන්වීම නිසාය. බොදු ඇස් කඳුළෙන් පුරවාලන එබඳු කථා කොපමණ තිබේද? චිංචිමානවිකා, සුන්දරී මෙන්ම තීර්ථක හා ජෛනයෝ ද තමන්ට අහිමිවූ ලාභ නිසා බුදුන්ට සතුරුකම් කළ අය අතර සිටිති. දෙව්දත් බුදුන් මැරවීමට ඇතෙක්ද දුනුවායන්ද එවා පසුව උන්වහනසේගේ හිස මතට ගලක්ද පෙරළුෑ සංවේදී පුවත් බෞද්ධයෝ දනිති.

සෝම හිමියන් බණ දේශනා කළේ දේශපාලන වරප්‍රසාද ලැබීමට නොවේ. දුදනන්. සුදනන් බවට පත්කිරීමටය. පීඩිතයන්ගේ ඇස නැඟෙන කඳුළ පිසලීමට මෙන්ම ජනතාව සූරා කන දේශපාලනඥයන්, සුරා සූදු, කැසිනෝ වර්ධකයන් හෙළා දැකීමටය. මා බොහෝ විට කල්පනා කරන්නේ අනගාරික ධර්මපාලතුමන් වැනි අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමීන්ගේ ආවේසය ද උන්වහන්සේ තුළ තිබෙන්නට ඇති බවය. එසේම සෝම හිමියන් බුදු දහම මෙන්ම බුද්ධාගම හා බැඳී තිබෙන සංස්කෘතික ඇදහිලි හා විශ්වාස වෙන වෙනම හඳුනාගත් යතිවරයෙක් බව ද කිව යුතුය. බෞද්ධ ඇදහිලි යනු බුදුන් වදාළ ධර්මයට පසුව එක්වූ අංග ලෙස ද උන්වහන්සේ පැවසූහ. උන්වහන්සේගේ විවේචනය වූයේ බෞද්ධ ධර්මය යටපත් කිරීමත් එමගින් ලාභ උපයන මාර්ග සාදා ගැනීමත් සම්බන්ධයෙනි. නූතන පාරිභෝගික සමාජයට වුවමනා ලෙස කෙරෙන ප්‍රදර්ශනාත්මක පූජා උන්වහන්සේ අනුමත කළේ නැත. එහෙත් ගමේ පන්සලේ බෝධි පූජාව බුද්ධ පූජාව නොකළ යුතු යැයි උන්වහන්සේ කිසිවිටෙක සඳහන් කර නැත. ගිලන්පස, ආහාර පූජා කිරීම නොකළ යුතු යැයි ද පවසා නැත.

සිංහල බෞද්ධ රජවරුන් හා සම්බන්ධ ඇතැම් ජනශ්‍රැතිවලට අනුව ඔවුන් විසින් බෞද්ධ සංස්කෘතිය වැඩීම සඳහා බොහෝ දේ කරන ලද බව ද අප දනිමු. දුටුගැමුණු රජු මහා සංඝයාට පූජා නොකර මිරිස් වෑංජනයක් අනුභව කිරීම නිසා පසුව මිරිසවැටිය කළ බව කියති. එසේම තවත් රජෙක් රාජ භෝජනයට වෑංජන දෙතිසක් ඇතුළත්වීම නිසා, රාජ්‍යත්වය සංකේතවත් කෙරෙන දළදා වහන්සේට ද දෙතින් වෑංජන පූජාව කළ බව ද කියති. අපේ ගොවියෝ තම කෙතෙන් ලැබෙන වී අස්වැන්නේ පළමු කොටස බුද්ධ පූජාවට දෙති. මේවා සමාජගතවී ජනයාට පීඩා ගෙන දෙන ව්‍යාපාර බවට පත්වීම වෙනම කථාවකි. උන්වහන්සේ මේවා තුළින් පෙන්වා දුන්නේ ආගම් ගසා කෑමේ වංචනික ක්‍රියා නොකළ යුතු බවය. වසර දෙදහසකටත් වැඩි කලක් සමාජයේ පවතින සම්මතයන් සාරධර්ම සම්ප්‍රදාය එක සැණින් කඩා බිඳීමට නොහැකි බව ද අපි දනිමු. බුදු දහමේ මූලික සංකල්ප බැහැර කරන සාටෝපවාදී අලංකාර මෝස්තර බෞද්ධයන්ගේ සරල පැවැත්ම නොවන බව සෝම හිමියෝ පැවසූහ.

සෝම හිමියන්ගේ ධර්ම ශාස්ත්‍ර චාරිකාව මෙන්ම බෞද්ධ සංස්කෘතික ප්‍රබෝධය උදෙසා උන්වහන්සේ ලද විශිෂ්ටත්වය ගෞරව බුහුමන් ආදිය කෙරෙහි අතිශය බලපෑම් සිදු කළ පුමුඛ ආයතන ද්විත්වය ලෙස බම්බලපිටිය වජිරා රාමය හා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය හැඳින්විය යුතුය. පැලෑනේ සිරි වජිරඥාන, මඬිහේ පඤ්ඤාසීහ, අම්පිටියේ රාහුල මහනාහිමිවරුන් බඳු දුර්ලභ ගණයේ සංඝ පීතෲවරුන්ගෙන් ලද ධර්ම විනය දායාදය ද සෝම හිමියන්ට විශිෂ්ටත්වය ලබා දුන් බව ද සඳහන් කළයුතුය. උන්වහන්සේ පෙර හා පසුකාලීනව සිටි ඇතැම් හිමිවරුන් ගැන නිසැක තතු අප නොදනිතත් උන්වහන්සේ නිසාම ඇසුරට වරම් ලද ත්‍රිකුණාමලයේ ආනන්ද මහනාහිමියන් වැනි පසුකාලීන යති පරපුර ගැන ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

සෝම හිමියන් හා අප අතර වූ ගෞරව පූර්වක ඇසුරත්, උන්වහන්සේගේ දහම් චාරිකා, වෙනත් සංවාද ආදිය සමග බොහෝ සමීපව සිටීමත් නිසා මේ අනුස්මරණ ප්‍රසංසනය ලිවීම අතිශය දුෂ්කර විය. උන්වහන්සේ පිළිබඳ අප්‍රමාණ මතක ධාරාවන් නැඟෙමින් හද තුළ මතවූ සන්වේදනාවන් ද බොහෝ විය. මා තවමත් කල්පනා කරන්නේ උන්වහන්සේ දහම් දෙසුමේත් ගැටුණේත් මරණ තුනක් දැක දැකත් පැණි කන මිනිසුන් බහුල සමාජයකට බවය. පන්සල ප්‍රබුද්ධ යෞවන කේන්ද්‍රයක් බවට පත් කළ යුතු යැයි සිංහනාද කළ මගේ කාලයේ වැඩවිසූ සරල, සංවර, සීලයෙන් පිරිපුන් සන්සුන් ගුණැති යතිවරයෙකුට පිදෙන වනපස මලක් ලෙස මෙය සෝම හිමි පාමුල තබමි. උන්වහන්සේගේ නාමය සදා සක් දම් සබා මණ්ඩපවල ද නෙක දහස් ජන හද තුළ රැඳේවා.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment