භික්‍ෂු සංඝස්ස දේම!

82

සංඝ” යන වචනයට අටුවාචාරීන් වහන්සේලා බොහෝ අර්ථ ලබාදී ඇත. ඒ අතර සමීපතම අර්ථය වන්නේ සමූහයා යන්නයි. බෞද්ධ දර්ශනය තුළ භික්‍ෂු සංඝයාගේ ගුණය මෙන්ම වගකීම ඉහළින් අගය කරන අතර ඒ නිසාම සාංඝික ක්‍රමය ද උගන්වා ඇත. බෞද්ධ ජනතාව සියල්ලටම වඩා මෙකී සාංඝික ක්‍රමය ඔස්සේ විවිධ පිංකම් කිරීමට බෙහෙවින් උනන්දු වන අතර එහි මූලිකම පරමාර්ථය වන්නේ ඒ තුළින් ලැබෙන බොහෝ ආනිශංසයි. විශේෂයෙන් සාංඝික ක්‍රමයෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ බොහෝ දෙනා අද වනවිට විවිධ කරුණු කාරණා මුල් කොටගෙන ඇතැම් භික්‍ෂූන්ගේ වැරදි හමුවේ දොස් නගමින් චෝදනා කරනු ලබන්නේ මුළුමහත් භික්‍ෂු සංඝයාටමය. සාංඝික ක්‍රමයෙහි ඇති විශේෂත්වය වනුයේ එයයි. හොඳ නරක දෙකම එයට පොදු වූවක් වන අතර ඒ තුළින් ලැබෙන විපාකය ද බොහෝය.

දිනක් අප තථාගත බුදුපියාණන් වහන්සේගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය තමා විසින්ම පිළියෙල කරන ලද චීවරයක් බුදු හිමියන්ට පූජා කිරීමට සූදානම් වූ විට උන්වහන්සේ මහා කරුණාවෙන් යුතුව ඇයට වැඩි ආනිශංස ලබාදීමේ අරමුණින් මහා සංඝයාට පූජා කරන ලෙස අනුදැන වදාළේ තමන් වහන්සේද සංඝ යන නාමයට අයත් බව දක්වමිනි. ඒ තුළින් කියැවෙන්නේ අන් කිසිවක් නොව සාංඝික ක්‍රමය කොතරම් අගනේද යන්නයි. මේ ඔස්සේ එදා සිට අද දක්වාම රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ පටන් බොහෝ දෙනා බුදුසසුනට විවිධ දේ පූජා කරනු ලැබුවේ මහත් ශ්‍රද්ධාව මුල් කොටගෙන මෙකී සාංඝික ක්‍රමයටයි. මෙම ක්‍රමවේදය පිළිබඳ උගන්වනු ලබන්නේ බුදුසසුන තුළ පමණි. අන් කිසිදු ආගමක මෙවැන්නක් උගන්වනු නොලබන අතර විශේෂයෙන් සාංඝික ක්‍රමය මගින් පෙන්වා දෙන්නේ සමූහයක් වෙනුවෙන් කරන පුජාවක් ලෙසිනි. බුද්ධ ශාසනයෙහි පෞද්ගලිකත්වය නොව බෙහෙවින් අගය කරනුයේ සාමූහික බවයි.

‘අගන අනගන චතුදිස සගස මෙදිනේ” යන සෙල් ලිපි පාඨයෙන් කියැවෙන්නේ ධර්මාශෝක මහ රජු බොහෝ වෙහෙර විහාර පූජා කිරීමේදී එහි සටහන් කරන ලද්දකි. එයින් කියැවෙන්නේ අවාවුත් නොවාවුත් සතර දිගින් වඩින මහා සඟරුවනට පූජාකරමි යන්නයි. මෙලෙස බුදු සසුනෙහි වඩා වැදගත් ලෙසින් අගය කරන සාංඝික ක්‍රමය හොඳ පැත්තට මෙන්ම අද වනවිට අකුසල පැත්තට ද මිනිසුන් යොමුකරවා ගෙන ඇත. වත්මන් සමාජයෙහි ඇතැම් භික්‍ෂූන්ගේ වැරදි නිසා බොහෝ දෙනා දොස් නගනු ලබන්නේ මුළුමහත් භික්‍ෂු සමාජයටමය. ඇතැම් පාපතරයන් සමාජ මාධ්‍ය ඔස්සේ කරනු ලබන චෝදනා හා අවලාද දෙස බලන විට අද තරුණ භික්‍ෂූන්වහන්සේට ශාසනය එපා වීම අරුමයක් නොවේ. එසේම පැවිදි කිරීමට පවා දෙමාපියන් දරුවකු පන්සලට නොදෙන තරමට ඔවුන්ගේ මනස විකෘති කර ඇති බව පුන පුනා කිව යුතු වන්නේද නැත. සුළු පිරිසක් කරන වැරදි වලට මුළුමහත් සංඝ ශාසනයම බැණුම් අසන තත්ත්වයට පත්වී ඇති කාලසමයක ඇතැම් මිනිසුන් දරන මතිමතාන්තර අතිශයින් භයානකය. භික්‍ෂූන්වහන්සේ යනු මහා අපරාධකරුවන් ලෙස හෙළාදකින පුද්ගලයන් සමාජයට ලබාදෙන විවිධ මතවාද ඔස්සේ ඉතා වේගයෙන් ඒවා ප්‍රචලිත වීම කෙසේවත් වැළැක්විය නොහැකිය. හොඳ දේට වඩා නරක දේට හිත ඇදී යාම සාමාන්‍ය තත්ත්වයක් වුවත් අනවබෝධය නිසාම මිනිසා අඳුරට යොමුවී ඇති බවක් නූතනය තුළින් මනාව දැකිය හැකිය. ඇතැම් මිත්‍ය මත දරන පුද්ගලයන් මහා සංඝයා අමතනු ලබන්නේ “ගණයන්” යන නාමයෙනි. ගණ යනු පාලි වචනයක් වන අතර එයින් කියැවෙන්නේද සමූහයා යන්නයි. මෙවැනි මතවාද නිසා අහිංසක භික්‍ෂූන්වහන්සේ බැණුම් අසන අයුරු දෙස බලන විට එයින් මෝඩ මිනිසුන් සිදුකරගන්නා විපාකය ද සුළුපටු නොවේ. මෙවැනි බොහෝ ක්‍රියාවන් පිටුපස විවිධ රාජ්‍ය නොවන සංවිධාන ද අවි අමෝරාගෙන කෝටි ගණනක් මුදල් වැයකොට භික්‍ෂු චරිතය කෙසේ හෝ ඝාතනය කිරීමට වෑයම් කරනු ලබයි. ඒ අන් කිසිවක් නිසා නොව අපේ රටෙන් බුදුදහම විනාශ කිරීම උදෙසාය. ඒ වෙනුවෙන් මුදලට වහල්වූ ඇතැම් භික්‍ෂු චරිත ද මුල්වී ඇති බව රහසක් නොවනු ඇත.

පසුගිය දිනයන් තුළ සිදුවූ බොහෝ සිදුවීම් දෙස අවධානය කොට බැලීමේදී පැහැදිලි වන ප්‍රධානතම සාධකය වන්නේ අනවබෝධය මුල්වීම ඔස්සේ බොහෝ පිරිසක් දොස්නගනු ලබන්නේ මුළුමහත් සංඝයාටමය. සාංඝික ක්‍රමයටම බනින අපේ මිනිසුන් කොතරම් දුරට මුලාවට පත්වී ඇත්තේ ද යන්න නැවත නැවත කිවයුතු නොවන්නකි. අතීත, වර්තමාන, අනාගත යනුවෙන් සාංඝික ක්‍රමයට කුසල් දහම් කරන්නාක් මෙන්ම සංඝයාට චෝදනා කොට අපවාද නැගීමද සමූහයක් වෙනුවෙන් කරන නිග්‍රහයකි. විවිධ මිත්‍යා මත වපුරමින් ඒවා ඔස්සේ ගමන් කරන සමාජයක අවබෝධය බෙහෙවින් වැදගත් වූවකි. නොමැතිනම් සිදුවන්නේ අනුවණ කමින් අකුසල් සිදුකර ගැනීම පමණි. සුළු පිරිසක් කළ වරදට සියල්ලෝම වගකිවයුතුද? යන්න බුද්ධිමත්ව විමසා බැලීම කාලෝචිත වූවකි. මේ පිළිබඳ බොහෝ සාධක දැක්විය හැකි වූවත් ප්‍රධානතම කරුණු වන්නේ මිනිසා තුළ ඇතිවිය යුතු බුද්ධිමත් භාවයයි. එය නොමැති කල්හි සිදුවන සමාජ පරිහානිය සුළු පටු නොවන්නකි. මේ නිසා “භික්‍ඛු සංඝස්ස දේම” යනුවෙන් විවිධ දේ පූජා කරන්නාක් මෙන්ම චෝදනා අපවාද කිරීමද සිදුකරනු ලබන්නේද සාංඝික ක්‍රමයටමය. මේ තුළින් වැරදි කරන භික්‍ෂූන්වහන්සේ සුද්ධ කිරීම නොකරන අතර ඔවුන්ට ලැබෙන විපාක එය ගිහි පැවිදි යනුවෙන් භේදයක්ද නොමැත. බෞද්ධ දර්ශනයෙහි කර්මය යනුවෙන් දැක්වෙන්නේ එයයි. මේ නිසා භික්‍ෂු ශාසනයෙහි අගය මෙන්ම සාංඝික ක්‍රමයෙහි ඇති වැදගත්කම මනාව වටහාගෙන නිසි අවබෝධයෙන්ම ක්‍රියා කිරීම නූතන සමාජ පරිහානියට බෙහෙවින් වැදගත් වූවක් ලෙස අවසාන වශයෙන් සටහන් කොට තබමින් අනුවණකමින් පව් නොකර ගන්නා ලෙස සිහිපත් කරන්නෙමු.

දර්ශනපති කනංකේ විජිත නන්ද හිමි

advertistmentadvertistment
advertistmentadvertistment