මතට ඇබ්බැහිවූ කාන්තාවන් පුනරුත්ථාපනය වව්නියාවේ

96

කන්දකාඩු වැඩි පිරිස ගම්පහ දිස්ත්‍රික්කයේ අය – ඇමැති විජයදාස

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටින කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමට වව්නියාව පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ විධිවිධාන යෙදීමට කටයුතු කර ඇතැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 9120 දෙනෙකු පුනරුත්ථාපනය කර තිබේ. මේ වනවිට එහි පුද්ගලයන් 520 දෙනකු පුනරුත්ථාපනය වන අතර ඉන් වැඩි පිරිසක් වන 232 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ අය වෙති.

අධිකරණ ඇමැතිවරයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

මේ වනවිට මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථාන තුනක් කන්දකාඩු, සේනපුර හා වව්නියාව ප්‍රදේශවල ස්ථාපිත කර තිබේ. වයස අවුරුදු 18ත් 20ත් අතර පුද්ගලයන් වව්නියාව මධ්‍යස්ථානය තුළත්, අවුරුදු 22 සිට 36 දක්වා පුද්ගලයන් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළත්, වයස අවුරුදු 36ට වඩා වැඩි පුද්ගලයන් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇත.

පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා යොමුවන කාලයේ ඔවුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා වැඩසටහන් මෙන්ම විවිධ පුහුණුවීම් සඳහා යොමු කරලීම සිදුකරනු ලබයි. එම කාලයේදී ආපදා කළමනාකරණය, ප්‍රථමාධාර, ජීවිතරක්‍ෂක, පරිසර ආරක්‍ෂණය, වෘත්තීය පුහුණු අවස්ථාවන් වැනි විවිධ පාඨමාලාවන් හැදෑරීමේ පහසුකම් සපයා ඇති අතර, පුහුණුවීම් අවසානයේ සහතික පත්‍ර ලබාදීම සිදු වේ.

මහාචාර්ය අතිපූජ්‍ය පාතේගම ඥාණිස්සර නායක ස්වාමීන්වහන්සේ මෙන්ම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්වරු ද මෙම අවස්ථාවන් සඳහා එක්ව සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment