මත්ද්‍රව්‍ය ළඟ තබාගත් තුන්වැනි සිසුවාත් යාපනය සරසවියෙන් අත්අඩංගුවට

378

එකම සතිය තුළ යාපනය විශ්වවිද්‍යාලයෙන් තුන් වෙනි සිසුවාත් මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ, කොණ්ඩාවිල් හන්දිය අසල නේවාසිකාගාරයක මෙම සිසුවා නවාතැන් ගෙන සිටි අතර ඔහුගේ කාමරයේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඇති බවටත්, යහළුවන් සමග ඔහු ඒවා භාවිත කරන බවටත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කාමරය පරීක්ෂා කිරීමේදී එම මත්ද්‍රව්‍ය හමු වී තිබේ.

විශ්වවිද්‍යාල සිසුවාගේ කාමරයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 250 ක්, මාවා පැකැට් 52 ක්, මදන මෝදක ගුලි 68 ක් සහ තවත් මත්පෙති විශාල ප්‍රමාණයක් හමු වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සැකකරනු ලබන්නේ ඔහු විශ්වවිද්‍යාල සිසුන්ට එම මත්ද්‍රව්‍ය අලෙවි කරන්නට ඇති බවයි.

අත්අඩංගුවට ගත් සිසුවා වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කෝපායි පොලිසිය වෙත භාරදී තිබේ. කෝපායි පොලිසිය එම සිසුවා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිතය යන වැරැදි මත යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු මීට ඉහතදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගතකොට ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment