මන්ත්‍රී නිවාස ගිනි තැබීමේ පෙත්සම – ආරක්‍ෂක ලේකම් පොලිස්පති සහ ශවේන්ද්‍ර ඇතුළු පිරිසකට නොතීසි

194

පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන්ට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියෙන් පසුව සිය නිවාස සහ දේපළ ගිනි තබා හානි කළ පිරිසට එරෙහිව විධිමත් විමර්ශනයක් සිදුකර නීතිමය පියවර ගැනීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වන පොලිස්පතිවරයා, ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු පිරිසකට නොතීසි යැවීමට අභියාචනාධිකරණය ඊයේ (16දා) නියෝග කළේය.

බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ අමාත්‍යවරුන්, හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් 39 දෙනකු ගොනුකර තිබූ එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ආරක්‍ෂක ලේකම්වරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් නම් කොට තිබිණි.

එකී ප්‍රචණ්ඩ ක්‍රියා නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ජීවිතය අහිමිවී පෙත්සම්කරුවන්ගේ රුපියල් කෝටි ගණනාවක් වටිනා නිවාස ඇතුළු දේපළ විනාශයට පත්වූ බවත් හදිසි නීතිය පනවා තිබියදීත් සිදුවූ සමහර ප්‍රචණ්ඩ ක්‍රියා මැඬපැවැත්වීමට යුද හමුදාව ඇතුළු ආරක්‍ෂක හමුදාවල සක්‍රීය දායකත්වය නොලැබුණු බව පෙනෙන්නට තිබූ බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

සමහර වගඋත්තරකරුවන්ට මේ දක්වා නොතීසි ලැබී නොමැති බැවින් ඔවුන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීමට හැකියාවක් නොලැබුණ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නාය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment