මම රටේ නායකත්වයට පැමිණියේ එජාපයේ පරපුරක උරුමය සමඟයි

959

ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මහනුවර එජාප ක්‍රියාකාරී හමුවේදී කියයි

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ කටයුතු කරමින්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ පක්ෂය ආරක්ෂා කරමින්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා සමඟ ද කටයුතු කර එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධුරයට පත්ව, රටේ නායකත්වය කරා තමා පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවර ජනාධිපති මන්දිරයේදී 07දා පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අද අප මෙහි රැස් වී සිටිනේ වෙනස් දේශපාලන වාතාවරණයක් තුළයි. 2022 අර්බුදය සමඟ රටේ ආර්ථිකය මෙන්ම දේශපාලන පක්ෂ ක්‍රමයද කැඩී ගියා. අද අපේ මූලික වගකීම වන්නේ කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් රටේ ආර්ථිකය බේරාගෙන ජනතාව ජිවත් කරවීමයි. එක්සත් ජාතික පක්ෂය මෙම ආර්ථික අර්බුදය මුල සිටම හඳුනාගෙන සිටියා. අපි 2020 මැතිවරණයේ දී ප්‍රකාශ කළා මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න නම් ඩොලර් බිලියන 03ක් අවශ්‍යයි කියලා. එසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය පමණයි.

නමුත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය කඩලා සජිත් ප්‍රේමදාස මහතා සමඟ සමගි ජන බලවේගය ඇති කරගත්තා. මා කණගාටු වන්නේ එතුමාගේ පියා යටතේ පක්ෂය කැඩී යාමට ගිය අවස්ථාවේ එදා පක්ෂය ආරක්ෂා කරදුන්නේ මම වීම නිසයි. කෙසේ හෝ මෙම පක්ෂය කඩන්නේ නැතිව අප ඉදිරියට ගියා නම් දේශපාලන වශයෙන් අද අප ශක්තිමත් පක්ෂයක්.අපට ආණ්ඩුවක් හදන්න අවස්ථාව තිබුණා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත් වන විට ඔවුන් ප්‍රකාශ කළේ අපට මෙය කරන්න බැහැ කරන්න පුළුවන් අයෙකුට සහාය ලබාදෙනවා කියලයි. එම කාලයේදී ඔවුන්ගේ සහාය අවශ්‍යව තිබුණා. ඇයි එදා අපට එක්වෙලා ආණ්ඩු බලය

ලබාගන්න නොහැකි වුණේ. එක්සත් ජාතික පක්ෂයේ කොටසක් අද විපක්ෂයේ සිටින්නේ පක්ෂය කැඩුව නිසයි. ඒ වගේම මම අගමැති ධුරයට පත්වූ අවස්ථාවේ මට සහාය දෙන්න කියලා මම නැවත ඉල්ලා සිටියා. නමුත් එම සහයෝගය හිමි වුණේ නැහැ.

ඉන්පසුව මේරටේ විශාල අර්බුදයක් ඇති වුණා. මම අගමැතිවරයා ලෙස ජනාධිපති ධුරය භාරගැනීමට නියමිතව තිබුණා. එවිට කිව්වා සමගි ජන බලවේගයට ජනාධිපති ධුරය අවශ්‍ය නිසා විපක්ෂ නායකව ජනාධිපති කරන්න කියලා. ඉන්පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකයාට රටේ ජනාධිපතිකම දෙනවා කියලා පොහොට්ටුවෙන් ඉවත් වූ පිරිස සමඟ එකතු වෙලා අගමැති වෙන්න සුදානම් වුණා. රටේ අසීරු අවස්ථාවේදී පොහොට්ටුවේ බහුතරයක් ප්‍රකාශ කළා

අගමැතිවරයාට අවස්ථාව දෙමු, අප සහාය ලබාදෙන්නම් කියලා. සුළුතරයක් ඊට විරුද්ධ වුණා. පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් මහත්මයා කිව්වා පොහොට්ටුවේ සහය දෙන්න ඕන පොහොට්ටුවේ සාමාජිකයෙක්ට කියලා. ඉන්පසුව ඔහු ඇතුළු සුළුතරයක් විපක්ෂයට ගියා. පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ජනාධිපති ඡන්දයට ඉදිරිපත් කරන්න ඕන කිව්වා. එවිට හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමව ඉදිරිපත් කළා. එවිට සජිත් ප්‍රේමදාස මහත්මයා පොහොට්ටුවේ අගමැති වෙන්න සූදානම් වුණා. මුලින් අගමැති ධුරය භාර ගන්න බැහැ කියලා පැනලා ගියා.

කෙසේ හෝ මම ජනාධිපති ධුරයට පත් වුණා. මම එම වගකීම භාරගත්තේ දේශපාලනය ගැන හිතලා නොවෙයි, රට ගැන හිතලා. ඒ සඳහා සෑම පක්ෂයකම සහාය ඉල්ලු‍වා. කෙසේ හෝ අප සියලු‍දෙනා එකට එකතුව මේ ප්‍රශ්නය විසඳා තිබෙනවා. පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය එදා ගම්වල එකිනෙකාට විරුද්ධව කටයුතු කළ කණ්ඩායම්. නමුත් අපි රට වෙනුවෙන් එකතු වුණා. දැන් රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.

ජේ.ආර්. ජයවර්ධන මහතා සමග කටයුතු කර, ප්‍රේමදාස ජනාධිපතිවරයාව ආරක්ෂා කරමින් ඔහු සමග කටයුතු කර, ඩී.බී. විජේතුංග මහතාව ජනාධිපති කර එම පක්ෂයෙන්ම අගමැති වී ඉන්පසුව මම රටේ නායකත්වයට පත් වුණා. මා ඉදිරියට පැමිණියේ එවන් පරපුරක උරුමය සමඟයි. එක්සත් ජාතික පක්ෂය නැති කිරීමට ඇතැමුන් උත්සාහ කළා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගැනීමට ඡන්දය ලබා දුන් දෙලක්ෂ පනස්දහසට මම ස්තුතිවන්ත වෙනවා. දැන් අප එක්සත් ජාතික පක්ෂය ලෙස එක්ව කටයුතු කළයුතුයි. ඒ සඳහා ගමේ පාක්ෂිකයන් එක්කරගත යුතුයි.

අසීරු කාලයේ රට බේරගන්න පක්ෂ බේදයකින් තොරව අපි සියලු‍දෙනා එකට එකතු වුණා. ඇතැම් අය චෝදනා කරනවා මහින්ද රාජපක්ෂ සමඟ එක් වුණා කියලා. පොදුජන පෙරමුණේ බහුතරයක් මට සහාය ලබාදෙන්න එකඟ වුණා. එවිට එම බහුතරය සමඟ එක්වීමට මහින්ද රාජපක්ෂ මහත්මයාට සිදු වුණා. සභාපතිවරයා බහුතරයට විරුද්ධව කටයුතු කළා. මෙහි තිබෙන්නේ වෛරයයි. ප්‍රතිපත්ති නොවෙයි. නමුත් අප තුළ වෛරය නැහැ. අපට අවශ්‍ය රට දියුණු කිරීමටයි.

අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තිබෙන්නේ ඩී.එස්. සේනානායක මැතිතුමාගේ පක්ෂය පිළිගන්න, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ වැඩපිළිවෙළ පිළිගන්න එමෙන්ම 1989 ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ආරක්ෂා කළ අය සිටින තැනයි යන පණිවිඩය ගමේ පාක්ෂිකයාට ලබාදෙන්න කියන ඉල්ලීම මම ඔබෙන් කරනවා.

අමාත්‍ය මනූෂ නානායක්කාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස, එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ, මහනුවර මහනගර සභාවේ හිටපු නගරාධිපති කේෂර සේනානායක, එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක චානක අයිලප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment