මලයාග තමිලාර් 01 – (ශ්‍රී ලංකාවේ දෙමළ වතු කම්කරුවන්ගේ ශෝකාලාපය)

1174

ඉන්දීය වතු කම්කරුවන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට පැමිණ වසර දෙසීයක් සම්පූර්ණ වීම සම්බන්ධයෙන් මේ දිනවල හැටන් ඇතුළු කඳුකර නගර කිහිපයකදී සැමරුම් උත්සව පවත්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු වතු කම්කරුවා තරම් දුක් අනුභව කළ වෙනත් කිසිදු කම්කරු කොට්ඨාසයක් මේ රටේ නොසිටි බව කියමින් අද අපි මේ කතුවැකිය අරඹමු. කෙසේ වුවද මේ සැමරුම් උත්සවවල කිසියම් දෝෂයක් තිබේ. එම උත්සවවලට අනුව ඉන්දියානු වතු කම්කරුවන් මුල් වරට මෙරටට පැමිණ ඇත්තේ වර්ෂ 1823 දීය. එහෙත් ඇත්තම කතාව නම් ඔවුන් මෙරටට ගෙන්වන ලද්දේ 1827 බවය. මේ රටේ මාතලේ සහ ගම්පොළ ප්‍රදේශ කෝපි වගාව සඳහා ඉතාම සුදුසු බව එවකට ලංකාවේ විසූ ජෝර්ජ් සැමුවෙල් බර්ඩ් නමැති හමුදා නිලධාරියා විසින් 1824 දී හඳුනාගන්නා ලදී. ඉන්පසු ඔහු ගම්පොලදී කුඩා කෝපි වත්තක් පටන් ගත්තේය. මේවායේ වැඩ කළෝ සිංහල මිනිස්සුය. දවසක් පුරා වැඩ කිරීමෙන් පසු මේ මිනිසුන් කැඳවූ ජෝර්ජ් බර්ඩ් දවසේ වැඩ කුලිය ගෙවීමට සූදානම් විය. එහෙත් ඔහුගෙන් මුදල් භාරගැනීම ප්‍රතික්ෂේප කළ සිංහලයෝ තමන් මුදලට වැඩ නොකරන බවත් අත්තමට පමණක් වැඩ කරන බවත් කීහ. මෙහි අදහස මෙසේය. ජෝර්ජ් බර්ඩ්ගේ කෝපි වත්තේ සිංහලයෝ නොමිලේ වැඩ කරති. ඒ හිලව්වට සිංහලයන් කුඹුරු වැඩ කරන කාලයට ජෝර්ජ් බර්ඩ් ඔවුන්ගේ කුඹුරුවල වැඩ කළ යුතුය. මේ ප්‍රහේලිකා සහගත කතාව මගින් ජෝර්ජ් බර්ඩ් ට එකක් තේරිණි. එනම් සිංහලයා යනු ආඩම්බරකාර ජාතියක් බවත් ඔවුන් කුලියට වැඩ නොකරන පිරිසක් බවත්ය. ඒ වන විටත් සිංහල රජ සමය අවසන් වඩුග යුගයේදී මෙරටට ඉන්දියාවෙන් පැමිණි දෙමළ ජාතිකයන් පිරිසක් කඳුකරයේ ඉතිරිව සිටියහ. මේ පිරිස සමග කතා කළ ජෝර්ජ් බර්ඩ් දවස් පඩියට වැඩ කිරීම සඳහා ඔවුන් පොළඹවා ගත්තේය. මේ අතර ටිකෙන් ටික ජෝර්ජ් බර්ඩ්ගේ කෝපි වත්ත ලොකු විය. දිනක් කොළඹ පැමිණි ඔහු එවකට මේ රටේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් හමුවී සිය කෝපිවතුවල වැඩ කිරීම සඳහා ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා දෙන ලෙසත් එම කෝපි එංගලන්තය ඇතුළු යුරෝපයේ වෙනත් රටවලට යැවීමෙන් හොඳ ආදායමක් උපයාගත හැකි බවත් කීවේය. මෙයින් මහත් පැහැදීමට පත් එඩ්වඩ් බාන්ස් එවකට එංගලන්තයේ යටත් විජිතයක් වූ ඉන්දියාවේ ආණ්ඩුකාරයාට පණිවිඩයක් යවා ලංකාවේ කුලීකාරයන් ලෙස වැඩ කිරීම සඳහා දෙමළ ජාතිකයන් එවන ලෙස ඉල්ලීමක් කළේය. මේ අනුව 1827 දී තමිල්නාඩු, තිරුනල්වේලි, තිරුචි, මදුරෙයි, කන්ජෝර් යන දකුණු ඉන්දියානු ප්‍රදේශවලින් දෙමළ ජාතිකයන් හාර පන්සියයක් හොයාගත් ඉන්දියාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයා ඔවුන් නැවක පටවා මන්නාරමට එව්වේය. මේ පිරිස පයින්ම කුරුණෑගල හරහා මාතලේ පිහිටි නිරෝධායන කඳවුරු කිහිපයකට රැගෙන යන ලදී. එකල මන්නාරමේ සිට මාතලේට පයින් ඒමට මාසයක් පමණ කාලයක් ගත විය. පාරවල් නොතිබූ බැවින් එම ගමන එන ලද්දේ කැලේ කපාගෙනය. මෙහිදී දෙමළ කම්කරුවන්ගෙන් කට්ටියක් සර්ප දෂ්ටන වලින් මිය ගියහ. තවත් කට්ටියක් මැලේරියාවෙන් මළහ. මේ පිරිස කඳුකරයට කැඳවාගෙන යන ලද්දේ 150 න් පමණ සමන්විත වූ ඉංග්‍රීසි සෙබළුන් විසිනි. එම ගමනේදී ඉහත සඳහන් අනතුරු වලට මුහුණ දීමෙන් එම සෙබළුන්ගෙන්ද භාගයක් පමණ මළහ. ඉන්දියාවෙන් පැමිණි පළමු වතු කම්කරුවන් පන්සියයෙන් මාතලේ පිහිටි නිරෝධායන කඳවුරට ළඟා වූයේ තුන්සියයක් පමණි. සෙසු සියලු දෙනාම මගදී මිය ගොස් තිබිණ. මෙවැනි ගමන්වලදී කෙනෙක් මළ විට වළ දැමීමේ සිරිතක් එකල තිබුණේ නැත. එබැවින් සුද්දා වේවා දෙමළ ජාතිකයා වේවා මිය යන අයගේ සිරුරු කැලෑවේම අත්හැර දමන ලදී. ඉතිරි වූ පිරිස සතියක කාලයක් නිරෝධායන කඳවුරේ තබන ලද අතර එම කාලය තුළදී එයින් පිරිසක් වසූරියෙන්ද, කොලරාවෙන්ද, උණ සන්නිපාතයෙන්ද මිය ගියහ. අන්තිමේදී ජෝර්ජ් බර්ඩ් ගේ කෝපි වත්තේ පණ පිටින් වැඩට යෑමට දෙමළ කම්කරුවන් දෙසීයකට ඉඩ ලැබිණ. මෙය ඉතා හොඳින් හිතට ගත් ජෝර්ජ් බර්ඩ් ඊළඟ වතාවේදී ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ඇනවුම් කරන විට පන්සීයක් අවශ්‍ය නම් දහසක් වෙනුවෙන් ඕඩරයක් නිකුත් කළේය. ඔහු එසේ කළේ මන්නාරමේ සිට මධ්‍යම කඳුකරය බලා එන විට කම්කරුවන්ගෙන් භාගෙට භාගයක් මිය යන බැවිනි. මේ රටේ ඉංග්‍රීසි පාලකයා දෙමළ කම්කරුවන් තිරිසන් සතුන් ලෙස සලකා කටයුතු කළ බව මෙයින් පැහැදිලි වේ.

වතුකරයේ දෙමළ කම්කරුවන් හඳුන්වනු ලබන්නේ මලයාග තමිලර් යන නමිනි. ඔවුන් ශ්‍රී ලංකාවට එන කාලයේදී මේ රටේ තේ වගාවක් නැත. දෙමළ කම්කරුවන් උදේ හතරට අවදි විය යුතු අතර පහ හමාර වන විට වැඩ බිමෙහි පෙනී සිටිය යුතු විය. ඔවුන්ට උදේ කෑම වශයෙන් පාන් පිටි රොටියකුත් කෝපි කෝප්පයකුත් ලැබිණ. දවල්ටද ඔවුන්ට ලැබුණේ රොටියක් හා කෝපි කෝප්පයකි. ඔවුන්ගේ වැඩ ඉවර වුණේ හවස හතටය. දවසේ අවසන් ආහාර වේල වශයෙන් රොටියක් හා කෝපි කෝප්පයක් ඔවුන්ට දෙන ලදී. මේ සඳහා වැය වන මුදල් වතු පාලකයා ඔවුන්ගේ පඩියෙන් කපා ගත්තේය. මේ පිරිස ජීවත් වූයේ කාමර පේළියක හෙවත් කාමර කසබැ එකකය. පසුකාලයේදී ලැයින් කාමර ලෙස හඳුන්වන්නේ මේ කියන තනි කුටියේ කාමර ගෙවල්ය. ඔවුන්ට වැසිකිළි පහසුකමක් තිබුණේ නැත. ඒ වෙනුවට බැද්දට ගොස් ගස් අස්සේ මුවාවීමට ඔවුන්ට සිදුවිය. ඔවුන්ට කිසිදු සෞඛ්‍ය පහසුකමක් තිබුණේ නැත. මුල් යුගයේදී උණ සන්නිපාතය හෝ මැලේරියාව වැළඳීම නිසා ඔවුන් විශාල වශයෙන් මිය ගිය අතර මරණ සහතික හෝ වෙනත් ලියකියවිලි කිසිවක් නොලියා එම මිනී වත්ත පහළ වළ දැමීම සිදුවිය. දවසේ වේල් තුනක්ම පාන් පිටි රොටි කෑම හේතුවෙන් අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීම නිසා පළමු අවුරුදු හතර ඇතුළතදීම ඔවුන්ගෙන් වැඩිදෙනා ශිෂ්ටාචාරයේ රෝගයක් වූ (disease of civilization) දියවැඩියාවට භාජන විය. එහෙත් ඔවුන් දියවැඩියාවෙන් මළ බව කවුරුවත් දැන සිටියේ නැත. එයට හේතුව කිසිදු මරණ පරීක්ෂණයක් සිදු නොකිරීමයි. මේ අතර ලංකාවේ කෝපි වගාව මධ්‍යම කඳුකරය පුරා ඉතා වේගයෙන් පැතිරෙන්නට පටන් ගත්තේය. එයට සාපේක්ෂව දහස් ගණන් දෙමළ කම්කරුවෝ මෙරටට ගෙන්වන ලදී. ඒ සියලු දෙනාම තවදුරටත් පාන් පිටි රොටි වලින් ජීවත් වූහ. මෙය කාල් මාක්ස් ගේ විග්‍රහයකට සමපාත කළ හැකිය. 17 වන සියවසේ බි්‍රතාන්‍ය කම්කරු පන්තියේ ප්‍රධාන ආහාරය වූයේ අර්තාපල්ය. ඔවුහු උදේට අර්තාපල් තම්බා කෑහ. දවල්ට අර්තාපල් තම්බා අර්තාපල් සුප් සමග අනුභව කළහ. ඔවුන් රෑට කෑවේද අර්තාපල්ය. එමනිසා එම කම්කරුවන්ගේ ප්‍රධාන ආහාරය පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අර්තාපල්ම පමණක් බව කාල් මාක්ස් කීවේය. මේ රටේ ආරම්භක දෙමළ වතු කම්කරුවන්ගේ ආහාරය පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් පාන් පිටි වලින්ම හැදූ රොටිම පමණක් විය.

(වතු කම්කරුවන්ට අරක්කු බීමට පුරුදු කළ හැටි හෙට කියවන්න)

advertistmentadvertistment
advertistmentadvertistment