2023 වසර කොහොමද ?

2464

වසරක් ගෙවා වසරක් ආරම්භ කරන කොට නව වසර තුළ විශ්ව ශක්තිය, අපට සලකන්නේ කොහොමද, අපි මොකද්ද කරන්න ඕනෑ, කොයි විදියටද හොඳ නරක ලැබෙන්නෙ කියල දැනගත්තොත් ඒ අනුව ජීවිතය සකස්කර ගන්න හැකි වේවි. එහෙනම් ලංකාවේ අපට කොයි විදියටද ග්‍රහකිරණ බලපාන්නෙ කියලා දැනගන්න නම් ලංකාවට විශ්ව ග්‍රහකිරණ පතිත වන ආකාරය ගැන දැනීමක් තිබෙන්න ඕනෑ. ජන්මියෙකුගේ කේන්දරයේ පලාපල දැනගන්න නම් ලග්නය මුල්කරගෙන නවාංශකයත්, දෙර්කාණයත් බලලා දැනීමක් ගන්න ඕනෑ.

ජ්‍යොතිෂය යනු බුදුදහම වගේ හේතු ඵල විද්‍යාවක්. තමුන්ට හිතෙන හිතෙන විදියට පලාඵල කියන්න බැහැ. නිවැරදිව කියන්න නම් වාචාල කට ඉවත්කරලා ජ්‍යොතිෂ සිද්ධාන්ත/කරුණු දැනගන්න ඕනෑ. පළමුවෙන් නිවරදි තත්කාල කේන්දරය හදාගන්න ඕනෑ. ලංකා කේන්දරයේ ලග්නය ‘කුම්භ’ භවාධිපතියා නැත්නම් අයිතිකාරයා ‘සෙනසුරු’ ශනිගේ ගෝචරය එයාටම අයිති 12 වැනි රාශියේ. තනිවම නොවේ සිකුරු සමග යෝගවෙලා. මේ දෙදෙනාම මිත්‍ර යහපත් ස්වරූපයෙන් තමයි 12 වැනි රාශියේ තැන්පත් වෙලා ඉන්නේ. එහෙනම් සාමාන්‍ය වශයෙන් කියන්ට පුළුවන් විවාහයන් 2023 යහපත් වනවා. හැබැයි ප්‍රමාද වෙලා. ඒ සෙනසුරු නිසා. මේ ආකාරයට ඔබේ කේන්දරයෙන් කුම්භ ලග්නෙට ආදේශ කරල තත්කාල කේන්දරය හදාගෙන 2023 පලාඵල ඔබටම දැනගන්න පුළුවන්. ඔබේ කේන්දරයට මේ වගේ සිදුවීම් සිදුවනවා කිව්වට හිත හොඳ කර ගන්නත්, හිත නරක් කර ගන්නත් එපා. ජීවිතයේ හැටි ඔහොම තමයි. කිසියම් ගෝචරයක් නිසා මෙවැනි ප්‍රතිඵලයක් එනවා කිව්වොත් පිළිගන්න. හොඳ නරක දෙකම සමබරව පිළිගන්න. මොකද ජ්‍යොතිෂයේදී පලාඵල කියන කොට ග්‍රහයන්ගේ චලනය හා පිහිටීම් බලලයි ගුණා ගුණ කියන්නෙ. එනිසා ජනප්‍රිය වූ ප්‍රතිඵල ප්‍රකාශ කරන්නට බැහැ. වසර ආරම්භ කරන්නේ ධනු රවියෙන්. ධනු රවිය වුණාට පවතින්නෙ දින 15 යි. ඉන්පසු රවි මකරට එනවා. මොකද රවි මාස 12 තුළ රාශි 12 පුරාම යන්නත් එපායැ.

කුම්භ ලග්නයට අඟහරු, බ්‍රහස්පති, චන්ද්‍රයා, රවි පාපි ග්‍රහයෝ, සිකුරා මිත්‍ර ග්‍රහයා වුණාට 9 රාශිය අධිපති හා බාධක ග්‍රහයා වනවා. මේ සම්මත ජ්‍යොතිෂ සිද්ධාන්ත රීති, මේ කරුණු හිතේ තබාගෙන 2023 ජනවාරි 01 සිට 14 දක්වා ගුණාගුණ දැනගන්න. පෘතුවිය නිතරම චලනය වන නිසා හැම දෙයක්ම වෙනස් වන බව දැනටමත් දන්නවා ඇති. එවිට ස්වල්පයකින් හෝ මහත් ලෙස හෝ කිරණ පතිතවීමේ ස්වභාවයන් වෙනස් වනවා. ඒ කිව්වේ පෘතුවිය උඩ සිටින මිනිහාටත් ඵලදීම් කිසියම් අයුරකින් අඩුවැඩි වනවා. නමුත් නොදී සිටින්නේ නම් නැහැ.

සෞරග්‍රහ මණ්ඩලයේ රජ්ජුරුවෝ රවි ගෝචරය 11 වැනි රාශියේ එහෙමත් නැත්නම් අයස්ථානයේ, බුධ සමග යෝග වෙලා. මෙතැනදී රවි බුධ යෝගය හැදෙනවා. එහෙනම් 11 වැනි රාශියේදී සිදුවන සිදුකරන දේ යහපත්ව 2023 දී ලැබෙනවා. 11 වැනි රාශිය කිව්වේ අයස්ථානයට. දැන හෝ නොදැන කිසියම් ලාභයක් ලැබෙන ස්ථානය. රවි බුධ යෝගය නිසා ඒ ලැබීම දෙගුණ තෙගුණ කරනවා. එතැන අයිති මිත්‍ර බ්‍රහස්පතිට. එහෙනම් තවදුරටත් සම්පිණ්ඩනය කළාම ඒ ලාභය ලැබෙනවා. ඒක දෙගුණ තෙගුණ වනවා. ඒක ලැබෙන්නෙ ශිල්පානුකූලව කියලත් හිතන්න පුළුවන්. ඒක ඉතින් මහජනයාට භුක්තිවිඳින්න ලැබේවිද දන්නේ නැහැ. මේ ලැබීමට කාලසීමාවකුත් තිබෙනවා. ඒ ජනවාරි 14 වැනිදා වනකං විතරයි. දොර ඇරුණ වෙලාවට රිංගන්න ඕනී. නැතිනම් කරල පැහුණ විටම නෙළාගන්න ඕනෑ කියලත් තිබෙනවා. මේ ලාභය මුළු රට වෙනුවෙන් ලැබෙන්නේ.

ඒ වගේ 2023 විදේශයන්ට යන්ට උත්සාහ කරන සාමාන්‍ය අයට ඒක ගොඩක් ප්‍රමාද වේවි. නැත්නම් නිශ්ඵල වේවි. ඔබේ උත්සාහය ටිකක් අපතේ යාවි. හැබැයි අනුන්ගේ උත්සාහයෙන් ඔබට දොර ඇරෙනවා. ඒකත් මතක තබාගන්න. ඔක්කොම යහපත් වුණාට වසර ආරම්භවන්නේ හතුරු චන්ද්‍රයාගෙන් බවත් ටිකක් හිතන්න ඕනෑ. ඒ කිව්වේ සතුට දුර්වල වෙනවා.

2023 ජනවාරි 15 වැනිදාට රවි නරක් වෙලා මකරයට යනවා. ඒ වුණාට රවිගේ ගෝචරය සෙනසුරුට අයත් මකරයට. මේ දෙදෙනා නෛසර්ගික හතුරෝ වුණාට එකට ආවම අපේ කැබිනෙට් එක වගේ වෙනවා. ලොකු හතුරුකමකුත් ලොකු මිතුරු කමකුත් රටට පෙන්වන්නෙ නැහැ. 2023 සෙනසුරුගේ අවස්ථා කීපයක් වෙනස් වනවා තමයි. ඒක එච්චර ගණන් ගන්න එපා. සෙනසුරු, වක්‍ර, අස්ථ, උදා, නිවෘති වුණාට රාශිය වෙනස් වන්නේ නැහැ. මකරයේමයි මේ ඔක්කොම. සෙනසුරු එහෙම කරනකොට රවි එළිපිට රඟන්නේ නැහැ. මේ කාලයේදී රවි එහෙනම් රටේ රජ්ජුරුවෝ හීන් නූලෙන් වැඩ කිරීමක් ආරම්භ කරනවා. මේ තත්ත්වය පෙබරවාරි 12-13 වෙනකන් පවතිවි. ලොකු ග්‍රහ මාරු වෙනසක් නැහැ. ජනවාරි 22 වනවිට සිකුරා කුම්භයට එනවා. ඒ කිව්වේ ලග්නයට නැති නම් සිරසට. මංගල්‍යයන් කෙරෙහි වැට උඩ ඉන්න අයට මඟුල් කෙරේවි.

2023 පෙබරවාරි 15 වනවිට සිකුරා මීනයට එන්න තමයි සූදානම. මීනයට සිකුරා උච්චයි. ගෝචරය ධනස්ථානයේ. ගුරු විවාහයක් ආරම්භ කරන්න ප්‍රාණවත් නොවුවත් ආරම්භ කළ විවාහ සම්පූර්ණ කරදෙනවා. එහෙනම් නොවැම්බර් 03 වනකං වරදක් නැහැ, හොඳ මිසක්. රවි සෑම වසරකම මාස 07 ක් හතුරුයි. එක් මාසයක් නීචයි. ඒ තුලාවට ආවාම. මාස වලින් කිව්වොත් ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 17 වනකං. මේ මාස පොදු වශයෙන් නරක් වුණාට පසුගිය වසර වගේම නරක් වන්නේ නැහැ. මොකද සෙනසුරාගේ (රටවැසියා) බලයත් මේ වසරේ වැඩි නිසා. තුලාවට රවි නීච වුණාට පසුගිය වසරේ වගේම වන්නේ නැහැ. එකක් කියන්න ඕනෑ. ගියවර වගේ රටේ පාලකයා මේ වසරේ එළිපිට රඟන්නේ නැහැ. යටිකූට්ටු වැඩපිළිවෙළක් අනුගමනය කරනවා. රටවැසියාට කංදුන්නට ක්‍රියාව අඩුකරනවා. ප්‍රතිශතයක් ලෙසින් බලනකොට වැඩි වාසියක් රට වැසියාට නැහැ.

රටක උගත්කම අධ්‍යාපනය ගැන කියන බුධ හා බ්‍රහස්පති 2023 රවි බුධ යෝගය සමග හොඳයි. එහෙනම් රටේ බුද්ධිමත් අය සංඝයා වහන්සේලා මේ වසරේ හිස ඔසවනවා. මේ රටේ පාලකයන් හෙළා දකිනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා. අරගල මේ දිනවල නිහඬ වුණාට ඉදිරියේදී අධික වනවා. රටේ උගත් කියන බොහෝ අය රට හැරයෑමට නියමිතයි.

කෙටියන් කිව්වොත් 2023 යහපත් යැයි කිව්වට අලුයට ගිනි වගේ වනවා. ජුලි අගෝස්තු වනවිට ගස්වල මල් හටගන්නා කාලය උදාවත්ම අඟහරු නරක්වනවා. රටේ ලේ ගැලීම් කීපයක් ඇතිවනවා. රට තරමක රත් වනවා. තාවකාලික පිළියම්වලින් එය නැවැත්වුවත් බොරු පොරොන්දු මත නැවත මේ තත්ත්වය ඇති වනවා. මොකද කේතා බොරුකාරයා මේ වසරේ අස්ථිරයි. කොටින්ම කිව්වොත් රටේ ඉවසීම නැති වන තරමට යනවා. පාලකයන්ගේ ක්‍රියා කලාපය මීට බලපානවා. සමහර පාලකයෝ පහරකෑම්වලට ලක්වීමට බැරි නැහැ.

2023 රට තුළ සතුට ක්‍රමයෙන් අඩුවෙනවා කියල කිව්වනේ. ඒ රට තුළ පාලන බලය දුර්වල වන නිසා. 2023 ග්‍රහ එකමුතු තත්ත්වය බොහෝදුරට අඩුයි. එකිනෙකා නොකිව්වට රටේ පාලන තන්ත්‍රයත් එහෙම වෙනවා. රටේ පාලකයන් හා රටවැසියා අතර සාකච්ඡා බිඳවැටෙනවා.මුදල් තත්ත්වය පාලකයන්ට සරු වුණාට රටවැසියන්ට නැතිවනවා. රටේ පාලනය කෙසේ වුණත් මේ වසර තුළ රවි, සඳු, අඟහරු හා බ්‍රහස්පති ග්‍රහකිරණ පාපි කිරණ වශයෙන් පතිත වන කාලයට නරක කාලයක් උදාවනවා.

2023 වර්ෂයේදී රාහු කේතු හැර අන් ග්‍රහ කිරණ ලංකා දරණි තලයට පතිත වන අන්දමත් එහි ප්‍රතිඵලත් සඳහන් කළා. ඉන් ලැබෙන ප්‍රයෝජනත් කිව්වා. දැන් රාහු කේතු ගැන කියමුකෝ.

2022 අප්‍රේල් 12 වැනිදා මේ රාහු කේතු වෘෂභයේ සිට මේෂ රාශියටත් වෘශ්චික රාශියේ සිට තුලා රාශියටත් හතුරු වී සංක්‍රමණය වුණා. රාහු කේතු ද්විත්වය පාඩු ඇති කරන ග්‍රහයෝ බව දන්නවනේ. රාහු ඔක්කොම නැති කරනවා. රාහු හොඳ 12 වැනි රාශියට විතරයි. අනික ඔළුව නැති ග්‍රහයා. කේතා ගැන කියනවා නම් අපිරිසිදුවට සියලුම දේ කරන නෙළුම් මලක් උඩ ඉන්න ග්‍රහයා දන්නවනේ. පිටරටවලින් අපට ලැබෙන එක එක පරිත්‍යාග මුදල් අපේ හොඳටම ලැබෙන ඒවා නොවේ. මේ හැම සාකච්ඡාවකම වංචාව පවතිනවා. අනික පිටරටින් අපට දෙන පොරොන්දු ඒ අයුරින්ම ලැබෙන්නෙ නැහැ. එකක් කියල වෙන එකක් තමයි කරන්නේ. ඒ සම්බන්ධව අපි පරිස්සම් වුණොත් හොඳයි.

කොටින්ම කිව්වොත් කෙනෙකුට, රටකට රාහු කේතු නරක් වුණොත් නරකක් මිස හොඳක් ලැබෙන්නෙ නැහැ. මේ වගේ සටහනක් ලියනකොට සුපුරුදු පරිදි ලස්සන වාක්‍ය රටාවන් ලියන්න බැහැ. ඒවා ලියන්න ඕනෑ ග්‍රහකිරණ චලනයට සාපේක්‍ෂව. ඔබේ කේන්දරයත් මේ විදියට ආදේශ කරල බලාගන්න.

2023 වසර කොහොමද ?

පාරම්පරික ජ්‍යොතිෂවේදී, ගුප්තවේදී මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
මොරටුව.
0779870007, 0722174553.

advertistmentadvertistment
advertistmentadvertistment