කය දුර්වල කරන හිතේ ඇති වන ලෙඩ

409

නිතරම මගේ කොන්ද රිදෙනවා, දණහිස් රිදෙනවා, ඇඟ පණ නැහැ යැයි ඇතැම් පුද්ගලයන් පවසනු අප අසා ඇත. මේ සඳහා ඔවුන් බටහිර, ආයුර්වේද හෝ වෙනත් කුමන හෝ වෛද්‍ය ප‍්‍රතිකාරයක් ලබා ගත්තද ඉන් සුවයක් නැතැයි කියා පවසයි. මෙලෙස කිසිදු වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයකට හසු නොවන ලෙඩ රෝග තිබේද? එසේනම් ඒවා මොනවා දැයි කියා අපි විමසා බලමු.

අප බොහෝ දෙනා ජීවත් වන්නේ විවිධවූ මානසික පීඩනයන් මැදය. විශේෂයෙන්ම මැදිවියට පත්වන විට එම මානසික පීඩනය බොහෝ සේ දැඩිවේ. එනිසා ඔවුනට කායික මෙන්ම මානසික රෝගද ඉතා පහසුවෙන් වැළඳේ. මෙම මැදිවියේ ඇතිවන බොහෝ ලෙඩ රෝග කායිකව ඇතිවූ ඒවා නොව මානසිකව ඇතිවූ ඒවාය. එනම් හිතින් ඇතිකරගත් ලෙඩ රෝගය. මෙවැනි හිතින් ඇතිකරගත් ලෙඩ රෝගවලට බොහෝ සේ ගොදුරුවන්නේ මැදිවියට පත්වෙමින් සිටින කාන්තාවන්ය. මෙසේ මනසින් ලෙඩ වන බොහෝ පුද්ගලයන්ට ඒ සඳහා ප‍්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ විශ්වයේ බලපෑම හෝ තමාට කිසියම් පුද්ගලයෙක් යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකමක් කර ඇතැයි යන විශ්වාසයෙන් පෙළීමය. එනිසා මෙවැනි ලෙඩ රෝග බටහිර, ආයුර්වේද හෝ දේශීය වෙදකම්වලට හසු නොවන රෝග ලෙස හැ`දින්විය හැකිය. මන්ද යත් මෙවැනි ලෙඩ රෝගවලට ඇත්තේ මනසට ප‍්‍රතිකාර කිරීම පමණි.

මෙවැනි හිතේ ලෙඩ රෝගවලට වයස් බේධයක් නැත. තමුත් අප අත්දැකීමෙන් දැක ඇත්තේ මෙවැනි හිතේ ලෙඩ රෝගවලට බහුලවම ගොදුරුවන්නේ මැදිවියේ කාන්තාවන්ය. ඊට බොහෝ සේ හේතුවී ඇත්තේ ඔවුන් මැදිවියට පත්වන විට ඉතා ඉක්මනින් හුදකලා වීමය. එම හුදකලා බවත් සමග ඔවුනට විවිධ සිතුවිලි ඇතිවේ. මම දැන් වයසයි. මගේ ශරීරය දුර්වලයි. මට කවුරු හෝ හදි හූනියමක් කරලා වැනි සිතුවිලි මතුවේ. මෙම සිතුවිලි සමග දිවි ගෙවීමේදී ඔවුන්ගේ මානසික ශක්තියද දුර්වීමට පටන් ගනී. එවිට ඉතා පහසුවෙන් ඔවුන් මනසින් ඇද වැටේ. මෙය පිස්සු හෝ උමතු බවක් ලෙස නොසැලකිය යුතුයි. මන්ද යත් මෙය මානසික රෝගයක් නොව මනස තාවකාලිව දුර්වල වීමකි. එනිසා මෙය මනෝ වෛද්‍ය විද්‍යාවට අදාළ මානසික රෝගක් නොවන බැවිණි.

ඇත්තටම හදි හූනියම් හෝ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගරුකම් මගින් පුද්ගලයකුට බලපෑමක් කළ හැකිද?

යන්ත‍්‍ර මන්ත‍්‍ර ගරුකම් කියා ශාස්ත‍්‍ර ක‍්‍රමයක් අප සතුව පවතිනවා. නමුත් වර්තමානයේ පවසන යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් කෙතරම් දුරට සැබෑ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගරුකම් දැයි කියා ගැටලූවක් මතුවෙනවා. සැබෑ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ශාස්ත‍්‍රයට අනුව බන්ධන, හදිහූනියම් ආදී ලෙසින් අෂ්ඨ කර්ම අටක් පවතිනවා. වශී, මාරණ, උච්චාවටන, මෝහන, ශාන්තිකර්ම ආදී ලෙස මෙම අෂ්ඨ කර්ම නම්කර තිබෙනවා. මෙහිදී විශේෂයෙන් උච්චාවටන කර්මය සහ මාරණ කර්මය යන අෂ්ඨ කර්ම දෙක මගින් අපට බොහෝ කරදර ඇතිවෙනවා. එනම් උච්චාවටන කර්මය මගින් අපගේ ඉදිරි ගමන් මගට බාධා ඇති කරනවා. මාරණ කර්මය මගින් අපගේ ජීවිත හානි සිදුවීම හෝ බරපතළ රෝග පීඩා ඇති කරනවා.

මෙවැනි අෂ්ඨ කර්ම වලින් ඇතිවන බලෑම් නැතිකිරීමට ප‍්‍රතිකාර නැතිද?

ඒ සඳහා පුද්ගලයාට බලපා ඇති කර්මය මුලින්ම හඳුනා ගතයුතුයි. ඒ අනුව ප‍්‍රතිකාර කළ හැකියි. මෙය බෞද්ධ දර්ශනය අනුව පවසන්නේ පෙර කුසල් අකුසල් ලෙසය. අපගේ

කුසල් බලවත් නම් පවතින අෂ්ඨ කර්මයේ බලපෑම අඩුයි. අපගේ කුසල් දුර්වල නම් අෂ්ඨ කර්මවල බලපෑම වැඩියි. උදාහරණයක් ලෙස පුද්ගලයන්ට නිතර නිතර කරදර ඇතිවෙනවා. දරාගන්න බැරි ලෙඩ ඇතිවෙනවා. එනම් අධික හිසරදය, එකවර සිරුර අප‍්‍රාණිකවීම, නින්ද නොයෑම, ඇඟපත වේදනාව, ඇඟපුරා කුෂ්ඨ හටගැනීම ආදී කරදර එකදිගට ඇතිවෙනවා. මෙවැනි අවස්ථාවලදී ඔවුන් සිතන්නේ මට කවුරු හරි ගුරුකමක් කරලා හෝ හූනියමක් කරලා කියාය. එනිසා පළමුව මෙම පුද්ගලයාගේ රෝගයට හේතු හෙවත් නිධානය නිවැරදිව හඳුනාගත යුතුයි. ඉන් පසු රෝගියාට ප‍්‍රතිකාර කළ හැකියි. ඇතැම් රෝගීන් අප වෙත පැමිණෙන්නේ ඇවිදින්න බැරිව. අප ඔවුනට තැඹිලි වතුර වීදුරුවක් පානයට දුන් විට සියල්ල හොඳ වෙනවා. ඊට හේතු ඔවුන් තුළ පවතින විශ්වාසයයි. මෙවැනි රෝගීන් වසර ගණනාවක් විවිධ වෛද්‍ය ප‍්‍රතිකාර ලබා කිසිදු ගුණයක් නැතැයි කියා මනසින් කඩා වැටුනු අයයි. එසේ වී ඇත්තේ ඔවුනගේ රෝගය නිසි ලෙස හඳුනාගෙන ප‍්‍රතිකාර ලබා නොදුන් නිසා කිසි සුවයක් ලබා නැහැ. මෙවැනි
රෝගීන් විශාල පිරිසක් අප වෙත පැමිණ සුවය ලබා තිබෙනවා.

කය දුර්වල කරන හිතේ ඇති වන ලෙඩ

සංස්කෘතික එකමුතු සංසදයේ (බස්නාහිර පළාත්) අධ්‍යක්ෂිකා
පාරම්පරික වෛද්‍ය, ශාන්ති කර්ම උපදේශිකා සහ
ගුප්ත විද්‍යා ආචාර්ය අනූෂා ස්වර්ණමාලි

advertistmentadvertistment
advertistmentadvertistment