අන්තර්කාලීන ආණ්ඩුවක් ඇමැතිකම් යෝජනාවෙන් ජනපතිගේ මානසික ගැටලුව මනාව පිළිබිඹු වෙනවා – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

342

රටේ ජනතාව මිරිහාන නිවස, කාල්ටන් වටලන්නේ ඇමැතිකම් මාරු කරන්න නොවෙයි

ගෝඨාභය ගෙදර යන්න යැයි කියමින් රට වටේ ජනතාව අරගල කරද්දි ජනපතිවරයා අන්තර්කාලීන ආණ්ඩුවක ඇමැතිකම් ගැනීමට යෝජනා කිරීම තුළින් ඔහුට ඇති මානසික ගැටලූව මැනවින් පිළිබිඹු කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මෙතන ඇත්තේ ඇමැති ධුර භාර ගැනීමේ ප‍්‍රශ්නයක් නොවන බවත් එහෙත් එම වත්මන් අර්බුදය විසඳා ගත හැක්කේ ජනතා විශ්වාසය ඇති පාලනයක් ගොඩ නැගීමෙන් පමණක් බවත් හෙතෙම කියා සිටියේය.

අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළකලේ ඊයේ (04 වැනිදා* පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ සුව සේ එම තනතුරු තමන්ගේ අතේ තියාගෙන සිටියදී ඇමැතිවරු අස්වෙනවා. ඒක මොන තරම් නාටකයක්ද කියනවා නම් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අස්වෙනවා නැවත පත්වෙනවා. ඔහු මහාමාර්ග ඇමැති. ජී. එල්. පීරිස් විදේශ ඇමති. දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමැති. අලි සබ්රි විතරක් ටිකක් වෙනස් වෙලා තිබෙනවා. ජනතාවගේ විරෝධයේ ස්වභාවය, ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව කිසිදු අවබෝධයක් නැති නායකයෙක්. ඊට පස්සේ නිවේදනයක් නිකුත් කරමින් ආර්ථික හා ගෝලීය සාධක හේතුවෙන් අර්බුදයක් ඇතිවී ඇති බව සඳහන් කරනවා. මහ බැංකුව සතුව තිබුණු ඩොලර් විශාල ප‍්‍රමාණයක් නාස්ති කළා. තමන්ගේ ගජ මිතුරන්ට හම්බ කර

ගන්න දුන්නා. ජාතික නිෂ්පාදිතයෙන් විශාල කොටසක් නියෝජනය කරන කෘෂිකර්මාන්තය කඩා වැටීමට ඉඩ හැර රසායනික පොහොර නතර කළා. ඒවා ගෝලීය අර්බුද බවට පත්වෙන්නේ කොහොමද?

ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ ත‍්‍රාඩ කණ්ඩායමක් පසුගිය අවුරුදු කිහිපය තුළ අනුගමනය කළ ප‍්‍රතිපත්තිමය තීරණ මේ විනාශයට හේතු වුණා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ අඩුම තරමින් මේ අර්බුදය හට ගත්තේ කොහොමද, මේ අර්බුදය මොන වගේද කියලාවත් හැඟීමක් දැනීමක් නැති බවයි මේ නිවේදනයෙන් පෙන්නුම් කරන්නේ. ඔහු තවදුරටත් කියනවා අමාත්‍ය ධූර බාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සොයන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවලට ආරාධනා කරනවා කියලා. අනෙක් පක්ෂවල මන්ත‍්‍රීවරුන්ට ඇමැතිධුර ලබාගන්න මාධ්‍ය නිවේදනවලින් ආරාධනා කරනවා. ගෝඨාභය රාජපක්ෂගේ මේ යෝජනවා අපි මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරනවා.

ජනතාව මිරිහානේ ගෙදර වටළන්නේ තව කාට හරි ඇමතිධුරයක් දෙන්න කියලා නෙවෙයි. කාල්ටන් වටලන්නෙත් එහෙමයි. අනිකුත් අයගේ නිවාස වටලන්නේ ඒ ඉල්ලීමෙන් නෙවෙයි. මේ වගේ යෝජනාවන් දැක්කාම ඔහුට මානසික ආබාධයක් තිබෙනවාද කියලා හිතෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මේ නාටකය රඟ දක්වන්නේ අපේ රටේ පුරවැසියන් එක්ක. අපේ රටේ පොදු ජනතාවගේ ජීවිතත් එක්ක. අපේ රටේ ආර්ථිකයත් එක්ක මෙවැනි නාටකවලට රටේ පුරවැසියන් තව දුරටත් ඉඩනොදිය යුතුයි. මේ පාලකයන් පළවා හැරීම සඳහා අරගල තවදුරටත් ඉදිරියට

ගෙනයා යුතුයි. ඉන් පසුව පිහිටුවන යාන්ත‍්‍රණය ගැන අපි සලකා බලමු. මේ රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ එන්න ජනතාවගේ විශ්වාසය සහිත පාලනයක් ගොාඩනැගීමෙන් තොරව බැහැ. මේ පාලකයන් පළවා හරිනවා වගේම ජනතාවට විශ්වාසවන්ත පාලනයක් ගොඩනැගීම සඳහා අවස්ථාව ලබාදිය යුතුයි. එසේ නොකර මේ ප‍්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ නැහැ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment