තවම කඳුළු වියැකී නැත දෙඇස කොහොම වේද විසිහතරේ කල දවස!

330

2024 වසර උදාවූයේ එක් අතකින් වැට් බදුත් අනෙක් අතින් අසාමාන්‍ය ලෙස ඉහළ යන භාණ්ඩ හා සේවා මිල පිළිබඳ පීඩනයත් සමගය. ඇත්ත වසයෙන්ම ගෙවී ගිය 2023 වසරේ සමාජ – ආර්ථික මෙන්ම දේශපාලන ශේෂ පත්‍රය ද කිසිසේත්ම සතුටුදායක එකක් නොවේ. 2023 වසරේ ආණ්ඩුවේ ප්‍රමුඛතාව ලැබුණේ ආර්ථික අර්බුදය යම් පමණකින් හෝ අවම කර ගැනීමටය. ඒ සඳහා ආණ්ඩුවට තිබුණු එකම විසඳුම හා පිළිසරණ වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබාගැනීම පමණි. එහෙත් ආණ්ඩුවට මූල්‍ය අරමුදලේ කොන්දේසි පවා නිසි ලෙස සම්පූර්ණ කිරීමට නොහැකි විය. එහි විපාකය වූයේ ආණ්ඩුව අපේක්‍ෂා කළ පරිදි දෙවන ණය වාරිකය ලබා ගැනීම ප්‍රමාදවීමයි. මේ ආර්ථික අර්බුදය හා එමගින් රටේ ජන ජීවිතයට එල්ල වන අභියෝග සුළුපටු නැත. 2023 සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශයට පත්ව තිබෙන බොහෝ සමාජ ආර්ථික සමීක්‍ෂණ වාර්තා අනුව වුවද තහවුරු වන්නේ 2024 වසර ද අලුත් බලාපොරොත්තු සහිත එකක් නොවන බවය. 2023 වසරේත් ඉමක් කොනක් නොමැතිව වර්ධනය වූ දරිද්‍රතාව හෙවත් දුප්පත්කම ජනතාවට මෙන්ම ආණ්ඩුවට ද බරපතළ උභතෝකොටිකයකි. ලෝක බැංකු වාර්තාවල මෙන්ම වෙනත් ජාත්‍යන්තර සමීක්‍ෂණ හැම එකකින්ම අවධාරණය කරන ලද්දේ සමාජ ආර්ථික කඩාවැටීමේ කුරිරු විපාකයන්ය.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්‍ෂණයකින් තහවුරු කරනු ලැබ ඇත්තේ ද ඉහත සඳහන් කළ දුගී බවත් එය ගම නගර වෙනසක් නොමැතිව පැතිර ගොස් ඇති බවත්ය. ගෘහස්ථ ජීවිතවල කඩාවැටීම එනිසාම අර්බුදවලට මැදි වූ පවුල්වල සෝකීය ඉරණම මෙබඳු යැයි කිසිවකුට තෝරා බේරා දිය යුතු නැත. ඉතා සැකෙවින් කිවහොත් සුළු පරිමාණයේ බොහෝ ව්‍යාපාර වැසී ගොසින්ය. ඉදිරිකිරීම් ක්‍ෂෙත්‍රය ද අර්බුදයකය. රැකියා අහිමිවීම, අලුත් රැකියා මාර්ග උත්පාදනය නොවීම මේ සමාජ ආර්ථිකයට දරාගත නොහැකිය. ආණ්ඩුව අපේක්‍ෂා කරන ආකාරයට ආයෝජන රටට ගලා ආවේද නැත. ඉන්දීය හා චීන ආයෝජන සම්බන්ධයෙන් විවාදාත්මක තොරතුරු ඇසුණත් ඒවායේ ප්‍රගතිය හෝ ප්‍රතිලාභ පිළිබඳ වාර්තා ද අඩුය. හැත්තෑවේ දසකයේ සිට හැත්තෑ හත දක්වා කාල රාමුවත් ඉන්පසු වර්තමානයේදීත් ක්‍රියාත්මක වන සමාජ – ආර්ථික මොඩලය ද බිඳවැටී තිබේ. නිදහසින් පසු හැත්තෑව දසකය තෙක් එතරම් සංකීර්ණ සමාජ දේශපාලන අර්බුද තිබුණේ ද නැත.

ලංකාවේ ආර්ථිකයේ බරපතළම කඩාවැටීම රාජපක්‍ෂ පාලනයත් සමග වර්ධනය වූ බවට විවේචනයක් මෙන්ම පිළිගැනීමක් ද ඇත. එයට හේතු වූ තවත් කරුණු ඉන් පෙර පාලන යුගවලදීත් තිබුණි. කුමක් වුවත් 2023 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද ඓතිහාසික නඩු තීන්දුවකට අනුව ආසන්න අතීතයේ ඇතිවූ ආර්ථික කඩාවැටීම සම්බන්ධයෙන් රාජපක්‍ෂ පාලනය වගකිව යුතු බව තහවුරු විය. 2015-2019 දක්වා තිබුණු මෛත්‍රි – රනිල් පාලන යුගය ද මේ ආර්ථික පරිහානියට වගකිව යුතු බව දැක්වේ. ගෝඨාභය පාලනය ඒ ආර්ථික අවපාතයේ උත්කර්ෂ අවදිය විය. විවාදාත්මක විදුලිය සිඳලීම්, තෙල්, ගෑස් පෝලිම් ඇතිවීමත් එහි දුෂ්ට හා ඛේදනීය විපාක රටට අත්කර දුන් බවද රහසක් නොවේ. කේතලයේ කළු පාටට මුට්ටිය සිනා සෙන්නාක් මෙන් අද මෙම ආර්ථික ක්‍රියාන්විතවල මූලික කාරකාදීහුම එකිනෙකාට ඇඟිලි දික් කරමින්ද සිටිති. ඇත්ත වසයෙන්ම මේ ආණ්ඩුව රනිල් හා රාජපක්‍ෂවරුන් කේන්ද්‍ර කරගත්තකි. කොටින්ම රනිල් අගමැති ලෙස සිට 2015 සිට 2019 තෙක් මෙන්ම 2022 සිට රනිල් ජනාධිපතිවීම දක්වා කාලයම ආර්ථිකය හැසිරවීම ඔවුන්ගේ කාර්යභාරය වී තිබුණි. එනිසා 2010 සිටම මෙම ආර්ථික කඩාවැටීම සම්බන්ධයෙන් රාජපක්‍ෂවරුන්ට ද ලේසියෙන් අත සෝදාගත නොහැකිය. රාජපක්‍ෂ මූල්‍ය පාලන මල් වට්ටියට අත ගැසූ ප්‍රබල චරිත කීපයක්ම අද මේ ආණ්ඩුවේ විවේචකයන් බවට ද පත්ව සිටිති.

කෙසේ හෝ ජනාධිපති රනිල්ට මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අයි. එම්. එෆ්. උපදෙස් අනුව ක්‍රියා කිරීම හැර වෙනත් මගක් නැති බවද පැහැදිලිය. 2023 අවසන් වන තෙක්ම ජනාධිපති රනිල්ගේ මෙම ක්‍රියාදාමය සම්බන්ධ දැඩි වාද විවාද පමණක් නොව වෙනත් ආකාරයේ ජනතා ප්‍රතිචාර ද දැකගත හැකි විය.

ජනාධිපති රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා විදේශ ආයෝජන රටට ලබා ගැනීම යන කරුණු සම්බන්ධයෙන් දක්වන අවධානය මෙන්ම ඇගැයීම් ද මම බොහෝ අවස්ථාවල අසා ඇත්තෙමි. ආර්ථික ක්‍ෂේත්‍රය පිළිබඳ පුළුල් න්‍යායාත්මක අවබෝධයක් නැති අයට වුවද මේ ආර්ථිකය බලගැන්වීමට ප්‍රබල දේශපාලන ස්ථාවරත්වයක් අත්‍යාවශ්‍ය යන්න අමුතුවෙන් නොකිව යුතු බව මගේ පිළිගැනීමය. එහෙත් මේ ගර්හිත ජරපත් දේශපාලන ක්‍රමය එලෙසින්ම නඩත්තු කරමින් මේ රට ගොඩනැගිය නොහැකි බව විශ්වාස කරන බොහෝ දෙනා අතර මමද සිටිමි. මගේ මතකයට නැගෙන්නේ ආර්ථිකයට සම්බන්ධ මගේ මිත්‍රයකු විසින් පවසන ලද පුවතකි. එය නිසැකයෙන්ම ප්‍රබල චෝදනා පත්‍රයකි. මෙරටේ දේශපාලනය තරමටම රාජ්‍ය සේවයද පිරිහී තිබේ. වඩාත් නිවැරදිව කිවහොත් මේ දෙපිරිස එක්ව බොහෝ ජාතික හා ආර්ථික අපරාධ සිදු කරනු ලැබ ඇත. ඉහත කී රාජපක්‍ෂවරුන්ට එරෙහි වූ නඩු තීන්දුවේදී උසස්ම නිලධාරීන් කීප දෙනෙකුගේ නම් ද සඳහන් වී තිබුණි. අද වන විටත් මේ රට සම්බන්ධයෙන් තිබෙන බරපතළම චෝදනාව වන්නේ ද අල්ලස හා දූෂණයයි. කොමිස් කුට්ටි හා ගසාකෑම්ද එහි අනිවාර්ය දුෂ්ට ලක්‍ෂණයි.

මා ඇසූ පුවත අනුව අල්ලස් දූෂණ හා කොමිස් නැති කිසිදු ව්‍යාපෘතියක් මෙරටේ තිබේ දැයි සැකයකි. කිසියම් ආයෝජනයක් සඳහා ඉදිරිපත් වන බොහෝ දෙනෙක් පොදුවේ නගනු ලබන ප්‍රශ්නය වන්නේ “මට ලැබෙන්නේ මොනවාද යනුයි. ප්‍රාදේශීය මට්ටමේ සිට ඉහළටම ඒ ප්‍රතිලාභය වෙනුවෙන් පෙනී සිටින වංක පුද්ගලයන්ගෙන් සමන්විත චෞර වළල්ලක් වැන්න. මෙරටේ දූෂණය වංචාව නියාමනය සඳහා විධිමත් හා බලවත් නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක වීමේ බොහෝ දුර්වලකම් තිබේ. ඇතැම් සමාජ දේශපාලන වාද විවාදවලදී පමණක් නොව රටේ නීතිය සම්පාදනය කරන පාර්ලිමේන්තුවේදී පවා කොමිස් ඉල්ලීම් නිසා අයෝජකයන් රට හැර ගිය බවට චෝදනා නැගෙයි. විදුලිබල ජනනය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයකදී රටේ ජනාධිපතිවරයාගෙන්ම ප්‍රකාශ වූයේ ඇතැම් නිලධාරීන් දූෂිතයන් බවය. වංචාව, දූෂණය, අල්ලස හා විවිධ විෂමාචාර පිළිබඳව මෙරටේ තිබෙන බොහෝ වාර්තා ඉතා අප්‍රසන්නය. අමු අමුවේ තොරතුරු හෙළිවී තිබුණත් හොරු නිදහසේ සැරිසරමින් සිටිති. බැංකු මංකොල්ලකෑම්, බැංකුවලට පොලු තැබීම්, පොදු දේපොල අයිතිකර ගැනීම් මෙන්ම විනාශ කිරීම් ද හිමිකරුවන් නැති වත්කම් ගැන ද මොන තරම් විවේචන පාවෙමින් තිබේද? කෝටි ගණනක රත්තරන් හොරෙන් රැගෙන ආ මන්ත්‍රීවරයෙක් තවමත් නිරුපද්‍රිතය. සිය වත්කම් පිළිබඳව මෙන්ම ස්වකීය අනන්‍යතාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම් ගැන ද එබඳුම වාර්තා තිබේ. නීතියෙන් නිදොස් වුවත් හෘද සාක්‍ෂියෙන් මේ අයට ගැලවිය හැකිද?

2023 දී මුළු රටම බලා සිටි ක්‍රිකට් පාලනයට එරෙහිව නැගුණු දූෂණ චෝදනා සිදුවීම අවසන් වූයේ ඒවා ඉදිරිපත් කළ ඇමැතිවරයාට එම ධුරය අහිමි කරමින්ය. ආණ්ඩුවත් විපක්‍ෂයත් එක්ව සම්මත කළ දූෂණ චෝදනා සියල්ල නිෂ්ක්‍රීය කරමින් කටයුතු කිරීමට ඒ චෝදනා ලැබූ පාර්ශ්වයට හැකි වී තිබේ. ඒ සම්බන්ධයෙන් සිදු කළ අනාවරණයන්, අයථා බව පැවසුනු ගනුදෙනු ජනමාධ්‍යවල දිගට හරහට දැක්වුවත් දැන් කිසිවෙක් ඒවා ගැන කතා නොකරති. ක්‍රිකට්වලට ලැබෙන මුදල් විගණනයකින් තොරව අදාළ පිරිස්වල අභිමතය පරිදි භාවිත කළ හැකි යැයි තර්ක කළත් ඒවා මූලික වසයෙන් රටක් වෙනුවෙන් කෙරෙන ප්‍රදානයන් නොවේද? මේ හැම තර්කයක්ම ගොඩනැගී ඇත්තේ දූෂණයට වංචාවට උචිත හා නිශ්චිත රැකවරණ ලැබෙන ආකාරයටය.

2023 වසරේ සිට මෙම වසරට ද රැගෙන එන ලද කුප්‍රකට ඖෂධ මගඩිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රමුඛ අදාළ අමාත්‍යාංශයේ ධුරාවලියේ ප්‍රබලයන් ගණනාවක්ම චෝදනාවට ලක්ව සිටිති. මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින පිරිසක්ද වෙති. මෙම සිදුවීම කුමක්ද? ඒ දූෂිත ජාවාරමේ පාර්ශ්වකරුවෝ කවරහුද? යනාදී ප්‍රශ්න අධිකරණය මගින් හෙළිකර ගත යුතුය. එහෙත් මේ අලජ්ජී, දුෂ්ට කාර්ය මෙරටේ දූෂණ වංචා හා කොමිස් මුදල්වලට ගිජු වූ වසල මෙහෙයුමක් බව වසන් කළ නොහැක. කෙහෙළියට මේ දූෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා නගන අය අතර සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ චරිත කීපයක්ම සිටීමද විශේෂත්වයකි. එසේම කෙහෙළිය වෙනුවෙන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවම පෙනී සිටි බවද රහසක් නොවේ. කුමක් වුවත් මේ වනවිට පොදු ජනතාව වෙනුවෙන් තිබෙන නිදහස් සෞඛ්‍ය සේවය ඒ ජනතාව භීතියට පත් කරන මාරක උගුලක් බවට පත්ව තිබීම බරපතළ තත්ත්වයකි.

මේ සියල්ල තුළින් තහවුරු වන්නේ 2024 යනු සමාජ අසහනයත් ආර්ථික පීඩනයත් උත්සන්න කළ හැකි වසරක් බවය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ඉතා අගනා අනාවරණයක් ද කර තිබුණි. මේ වන විටත් සියලුම අංශවල භාණ්ඩ හා සේවා වෙනුවෙන් ඉහළ මිලක් පනවා ඇත්තේ පැරණි නිෂ්පාදනවලටම බව ඔහු පෙන්වා දෙයි. වෙළෙඳුන් හා සමාගම් නිෂ්පාදන පිරිවැය වෙනස් වීමට පෙර එලෙස වැට් බදු අයකර තිබෙන බවය. ඇත්ත වසයෙන්ම නත්තල් සමයේ සිට දෙසැම්බර් 31 දක්වා කාලය මුළුල්ලේම (වැට් බදු ක්‍රියාත්මක වීමට පෙර) මේ මිල ඉහළ නැංවීම් දැකගත හැකි විය. එසේම වැට් බදු නියමවීමට පෙර රේගු භාරයේ තිබුණු භාණ්ඩ නිදහස් කර ගැනීම ද ලහි ලහියේ සිදුවිය. එසේ නිදහස් කර ගන්නා සියලුම භාණ්ඩ සඳහා මේ වැට් බදු එකතු කිරීම අනිවාර්යෙන්ම සිදුවන්නකි. ඒ සියල්ල පාරිභෝගික ජනතාවට ලැබෙන අවුරුදු තෑගි නොවේද? අපට පෙනෙන්නේ සිත්පිත් නැති පාලකයන් මෙන්ම එබඳුම වසල වෙළෙඳ ආධිපත්‍යයක්ද බිහිවී තිබෙන බවය. මොනම ආකාරයකින්වත් තම ආදායම වැඩිවී නැති බහුතර ජනතාවකට මෙම වැට් බදු නිසා මුහුණ දීමට සිදුවන දුක, පීඩනය සාධාරණීකරණය කළ නොහැක.

තවම කඳුළු වියැකී නැත දෙඇස කොහොම වේද විසිහතරේ කල දවස!

මෙහිදී අවම වසයෙන් ජනතාවගෙන් නඩත්තු වන ජනාධිපතිවරුන් ඇමැතිවරුන් හා මැතිවරුන් පමණක් නොව විවිධ ආයතනවල නිලධාරීන් ආදී කිසිවෙක් තමන්ගේ සුඛවිහරණ ජීවිත රටා වෙනස් කර නැති බවද නිසැකවම කිව හැකිය. ජාතියේ දරු සම්පත, තාරුණ්‍ය ආදී සියල්ල වැනසී යද්දී දේශපාලන මහලු මඩමක් බඳු රටක, ඒ සියල්ල රැකගැනීමට සිදුවීම කෙබඳු ඛේදවාචකයක්ද? අපි ජාතියේ මල් සම්පත් වනසා වියළි දර ගස් රකිමින් නොසිටිමුද?

එහි වඩාත් උත්ප්‍රාසනීය කරුණ වන්නේ රටේ ආර්ථිකය විනාශ කළ, දූෂණ වංචා හොර මැරකම් පිළිබඳ අප්‍රමාණ චෝදනා තිබෙන දුෂ්චරිත සුරැකීමට ජාතියේ අනාගතය බිලිදීමට සිදුවීමය. දරුවන් සිව්දෙනකු සිටින පවුලකට අද සිදුව තිබෙන්නේ දෙදෙනෙකුගේ අධ්‍යාපනය නතර කිරීමටය. වේල් තුනක් වෙනුවට දෙකක් හෝ එකක් කාබී යන්තම් ජීවිත ගැටගසා ගැනීමටය.

මේ සියල්ල එලෙස සිදුවීමට නියමිතව තිබියදී මෙම වසර එනම් 2024 මැතිවරණ වසරක් ලෙස ද සමහරු හඳුන්වති. ජනාධිපති රනිල් ද ඒ බව ප්‍රකාශ කර තිබුණත් සමහරුන් ඒ පිළිබඳව කුහුලකින් සිටින බවක්ද පෙනේ. අටුවා ටීකා අමුතුවෙන් සැපයීමට වුවමනා නැත. මේ ආණ්ඩුව පළාත් පාලන ඡන්දය අතුරුදන් කළ ආකාරයම එයට සාක්‍ෂි දරනු ඇත. ජනමාධ්‍ය සඳහන් කරන ආකාරයට නම් මේ වන විටත් ජනාධිපතිවරණ සඳහා කිසියම් ලකලෑස්ති වීමක් ද තිබේ. ස.ජ.බ හා ජා.ජ.බ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්‍ෂකයන් ද නම් කර මැතිවරණ ව්‍යාපාරය ද ආරම්භ කළ බවද පෙනී යයි. ජනාධිපති රනිල්ගේ ස්ථාවරය තවම නිශ්චිතව දක්වා නැත. පොහොට්ටුව සුපුරුදු සටකපට දේශපාලන ඇඟවීම් කරමින් සිටියි. එසේම දේශපාලන සන්ධාන පිළිබඳව ද පුවත් අපමණව ඇසෙයි. ප්‍රධාන දේශපාලන පක්‍ෂ ලෙස පැවති එ.ජා.ප, ශ්‍රී.ල.නි.ප මෙහිදී කුමක් කරනු ඇද්ද? පොහොට්ටුව වුවද බෙදී වෙන වෙන හවුල් ගොඩනැගෙන ප්‍රවණතාවක් ද ඇත. දෙමළ ඩයස්පෝරාව හෝ දෙමළ පක්‍ෂ කෙබඳු තීරණයකට එළඹෙනු ඇද්ද යන්නත් දැන්ම කිව නොහැකිය. එළඹෙන මැතිවරණ සම්බන්ධයෙන් ස.ජ.බ හා ජා.ජ.බ පැහැදිලි විශ්වාසයකින් සිටින බවද පෙනේ. එහෙත් ජනාධිපතිවරණය හෝ පසුපසට දමනු ලැබ ඇතැයි කියැවෙන මහ මැතිවරණය රටේ සමාජ – ආර්ථික – දේශපාලන දිශානතිය පැහැදිලි වෙනසකට යොමු කරන්නක් විය හැකි බවටද පුරෝකථන සිදුවී තිබේ. එය විවාදිතය.

2024 දී වික්‍රමසිංහ – රාජපක්‍ෂ පාලනය පරාජයට පත්විය හැකි බව මෙම දේශපාලන වාතාවරණය තුළ බොහෝ දෙනෙක් කල්පනා කරති. එසේම මේ කණ්ඩායම් තමන්ට අත්විය හැකි ඛේදනීය දේශපාලන ප්‍රතිඵලය දැන දැනත් කවර හෝ මැතිවරණයකට අවකාශ සළසා දෙනු ඇද්ද යන සැකය ද සමහරු නගති. ලංකාවේ දේශපාලන පරිවර්තනය දෙස බලා සිටින ඇමෙරිකාව මෙන්ම ඉන්දියාව ද මෙහිදී දැක්විය හැකි ප්‍රතිචාර ද අතිශය වැදගත් වනු ඇත. මේ වසරේදීම පැවැත්වීමට නියමිත ඉන්දීය හා බංගලාදේශ මැතිවරණවලට වඩා වෙනස් දේශපාලන හැඩයක් ලංකාවට ලැබෙනු ඇතැයි සිතිය හැකිද? ඉන්දියාවේත්, බංගලාදේශයේත් අලුත් දේශපාලන වෙනසකට හේතු නැති බව අපගේ ද අදහසයි. මෙතෙක් සිදුවූ ආකාරයට සම්ප්‍රදායානුකූල දේශපාලන කඳවුරුවලට යළි බලය ලබා ගැනීම පහසු නැති බව නම් හැඟේ. ඇත්ත වසයෙන්ම 2022 දී ගාලුමුවදොර අරගලකරුවන්ගේ තේමාව වූයේ අලුත් ආණ්ඩුවක්ම නොව ක්‍රමයේ වෙනසක් සහිත නැවුම් ජනතා අභිලාෂයන් කුළුගැන්විය හැකි පාලනයක් අවශ්‍ය බවය. මෙතෙක් බලය රඳවා ගත් දේශපාලන කඳවුරු ගැන අරගලකරුවෝ විශ්වාස නොකරති. දවසින් දවස මෙරටේ ප්‍රබුද්ධ ජනතාව තුළ පමණක් නොව බහුතර ජන කොටස් තුළ ද තියුණු වෙමින් වැඩෙන අදහස වන්නේ මේ පවතින ක්‍රමය රට විනාශ කළ බවත් ඔවුන්ට නිශ්චිත පරාජයක් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ලබාදිය යුතුය යන්නත්ය. එය ඉතා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී තේමාවක් ලෙස වර්ධනය වෙමින් තිබෙන්නකි. 2024 මැතිවරණ යනු ඒ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කරන්නක් බවද හැඟේ. මේ අතරම පරණ හණමිටි දේශපාලන සටන් පාඨ ද ඇසෙයි. රාජපක්‍ෂවරුන්ගේ පොහොට්ටුව පමණක් නොව ස.ජ.බ සමහරුන් ද ජා.ජ.බ පක්‍ෂය සම්බන්ධයෙන් කෙරෙන විවේචන තවමත් ඒ පක්‍ෂවල අපරිණත බව හා දේශපාලන වෛරයද විදහා දක්වන්නකි. දේශපාලන වසයෙන් පැසුණු හා සමාජය සම්බන්ධ අලුත් කියැවීමකින් ද යුත් ජනතාව ආමන්ත්‍රණය කළ යුත්තේ කෙසේද යන්න ඔව්හු නොදනිති. ජ.වි.පෙ ඝාතන සංස්කෘතිය අප අනුමත නොකරන අතරම අනෙක් පක්‍ෂවලට එල්ල වී තිබෙන ඝාතන හා භීක්‍ෂණ චෝදනා ද සුළුපටු නැත. දේශපාලන අපරාධකාරයන්ට ගල් ගසන හැම කෙනෙක්ම තමන්ගේ පක්‍ෂවල චර්යා ධර්ම මානුෂික ඇගැයීම් කෙබඳු දැයි විමසා බලා වටහා ගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය සහතික කළ දේශපාලනඥයන්ගේ කැරැට්ටු කෙබඳු දැයි දන්නා අය ද සිටිති. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට අප්‍රමාණව ප්‍රතිඥා දුන් නායකයන් ගැන අපට කිව හැක්කේ කුමක්ද? ව්‍යවස්ථා සංශෝධන දේශපාලන මගඩි බවට පත් වූ ආකාරය ද රටම දනී. ජනාධිපති ක්‍රමය පවත්වා ගත යුතුද? ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද? දූෂණය හා වංචාව පිළිබඳ ජනතාවට දෙන ප්‍රතිඥාව කුමක්ද? 2022 සිට බරපතළ ලෙස කඩාවැටුණු ශ්‍රී ලංකාවේ අතිමහත් බහුතර ජනතාවගේ ඉරණම වෙනස් වන්නේ කෙසේ ද යන මූලික ප්‍රශ්නවලට එළඹෙන ජනාධිපතිවරණයේදී සාධනීය පිළිතුරු ලබා දිය හැකි පක්‍ෂය – සන්ධානය හෝ නායකත්වය කුමක්ද යන්න පිළිබඳව රටම බලා සිටින බව නිසැකවම සඳහන් කළ යුතුය. පවත්නා දේශපාලන වාතාවරණය තුළ ස.ජ.බ හා ජා.ජ.බ නායකයන්ට අන් සියලු දෙනාටම වඩා වැඩි අවකාශයක් තිබුණත් ඔවුන්ගේ ආමන්ත්‍රණ ජනතා හදවත් තුළ නංවන ප්‍රතිරාවය මත මේ සියල්ල රඳා පවතිනු ඇත.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment