ආණ්ඩුව ගෙදර යැවීම සඳහා 06 වැනිදා හර්තාලයක් පවත්වනවා… ජාතික ජනබලවේගයේ විධායක සභික – වසන්ත සමරසිංහ

221

28 වැනිදා වැඩ වර්ජනයක් පවත්වනවා. නමුත් රෝහල්වල බෙහෙත් දෙනවා, විදුලිය අඛණ්ඩව ලබා දෙනවා.

ආර්ථික ප්‍රශ්න ඇති වූයේ ආණ්ඩුවේ ඔලමොට්ටල තීන්දු තීරණ නිසා

රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙන්ම ලබන 28 වැනිදා පවත්වන වැඩ වර්ජනය සහ ලබන 06 වැනිදා පවත්වන හර්තාලය පිළිබඳව ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පළ කළ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය – මේ මොහාත වන විට රට තුළ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ විග්‍රහය කුමක්ද?

පිළිතුර:- දේශපාලන ව්‍යාපාරයක් ලෙසත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙසත් අපි මෙම තත්ත්වය දකින්නේ පසුගිය වසර 74ත් මේ රට පාලනය කළ ගෝඨාභය රාජපක්ෂ පවුල ඇතුළු දේශපාලනඥයන් විසින් ඇති කළ ශාපයක් ලෙස තමයි. ඒත් පැති තුනකින් මේ රට කොල්ලකාලා ණය කරලා ජනතාව අතරමං කරලා තිබෙනවා. එම නිසා අද වනවිට මේ රට බරපතළ ප්‍රශ්න ගණනාවක සිරවී සිටිනවා. මෙම තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ මේ රට පාලනය කළ පාලකයින්ගේ අසාර්ථකම සහ ඔවුන් අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති නිසා. මෙම පාලකයන් ඇතිකළ මෙම වසර 74ක ශාපය අවසන් කිරීම සඳහා අපි මේ වනවිට ජනතාව සමග දේශපාලනය කරමින් සිටිනවා. ඒ මේ රටේ ජනතාව, තරුණයන්, වෘත්තිකයන්, ගොවියන්, කම්කරුවන්, කාන්තාවන් ඇතුළු සියලු දෙනා මේ වනවිට අපත් සමග අත්වැල් බැඳගනිමින් සිටිනවා.

ප්‍රශ්නය: මේ වනවිට රට තුළ පවතින තත්ත්වය විප්ලවීය තත්ත්වයක් දක්වා වර්ධනය වන බව ද ඔබ සඳහන් කරන්නේ.

පිළිතුර: විප්ලවීය තත්ත්වයක් කියල කියන්නේ රටක පවතින තත්ත්වය වෙනස් කරලා අලුත් ක්‍රමයක් සඳහා මාරුවීම. එම මාරුවීම ජනතාවට සුබවාදී සහ වාසිදායක ලෙස කර ගැනීම තමයි අරමුණ. ඒ තුළ ගෝඨාභය රාජපක්ෂ පවුල් පාලනය අවසන් වෙන්න ඕනි. එම අලුත් පාලනය පවතින තත්ත්වයන් වෙනස් කරලා ජන ජීවිතය යථාවත් කරලා ජනතාවට ජීවත්වෙන්න පුළුවන් රටක් හදන පාලනයක් වෙන්න ඕනි.ඒක තමයි විප්ලවීය තත්ත්වය. එබඳු තත්ත්වයක් ඇති කිරීම සඳහා අපි වැඩ කරමින් සිටිනවා.

ප්‍රශ්නය: ඒ කියන්නේ කොමියුනිස්ට් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරනවා කියන එකද?

පිළිතුර: ලෝකයේ මිනිසුන් තම තමන්ට කැමැති විදිහට විග්‍රහයන් කර ගන්නවා. නමුත් අද අපේ රටේ සිටින ජනතාවට තිබෙන ගැටළුව තමයි පාරේ යන්න තෙල් ටිකක් නොමැතිවීම, ගොවිතැන් කිරීමට පොහොර නොමැතිවීම, දරුවන්ට කිරිපිටි ටික නැහැ. ගෑස් නැහැ. නිවසේ කටයුතු කර ගන්න විදුලිය නොමැතිවීම. එම නිසා මේ වනවිට රට නන්නත්තාරවී තිබෙනවා. මොන ක්‍රමය තුළ හරි රටේ ජනතාව ජීවත්විය යුතුයි. අපි මැදිහත් වන්නේ රටේ ජනතාවට සතුටින් ජීවත්වන්න පුළුවන් ඔවුන්ගේ සිහින සැබෑකරන්න පුළුවන් ක්‍රමයක් ගොඩනැඟීම සඳහා තමයි. ඒ සඳහා ඔබ කැමති ඕනෑම නමක් යොදා ගන්න පුළුවන්. ඒකට අපේ කිසිදු බාධාවක් නැහැ. රටේ මිනිසුන් සතුටින් ජීවත් වනවා නම්.

ප්‍රශ්නය: මේ වනවිට අප රට තුළ විශාල වාහන සංඛ්‍යාවක් පරිහරණය කරනවා. එම වාහන සඳහා ඉන්ධන ආනයනය කිරීමට විශාල විදේශ විනිමයක් වැය වෙනවා. ඔබ විශ්වාස කරනවාද ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවකට ක්‍ෂණිකව මෙම ඉන්ධන අර්බුදය විසඳන්න පුළුවන් කියලා.

පිළිතුර: මෙම ප්‍රශ්නය ආණ්ඩුව හදපු ප්‍රශ්නයක් මිස වාහන වැඩිවීම නිසා ඇති වූ ප්‍රශ්නයක් නොවෙයි. ජනතාව වාහන මිලට ගන්නවා. ලීසින් කරලා අරගෙන ගෙවනවා. එම ණය ගෙවන්නේ නැහැ කියලා බැංකු කඩන් වැටිලා නැහැනේ. එම නිසා පැහැදිලියි අද මේ රට පත්වෙලා තිබෙන්නේ මේ රට පාලනය කිරීමට නොහැකි රාජපක්ෂලා ගත් ඔලමොට්ටල තීරණ නිසා බව. අද මේ රට මේ තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ රාජපක්ෂලා කළ අපරාධයන් නිසා තමයි. ලෝකයේ සිටින කිසිදු ආර්ථික න්‍යායකට අයත් නොවන තීන්දු තීරණ තමයි මේ අය ගන්නේ. රටක් පාලනය කිරීමේදී ලෝකයේ තිබෙන ආර්ථික ක්‍රම පිළිබඳව මෙන්ම එම ක්‍රම අපේ රටට ගැළපෙන ලෙස කලමනාකරණය කර ගැනීම පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. ඒ පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව රට පාලනය කළ නිසා තමයි අද අපේ රට ආර්ථික අර්බුදයකට ගිහින් තිබෙන්නේ.

රටේ ජනතාවට ඉන්ධන ටික දෙන්න බැරිනම් ඒ ආණ්ඩුවට වැඩ බැහැ කියන එක තමයි කියන්න තිබෙන්නේ.

ප්‍රශ්නය: කියුබාව, උතුරු කොරියාව වැනි රටවල්වල තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඉතා ඉහළින් අගය කරන පරමාදර්ශී කොමියුනිස්ට් ආණ්ඩු. එම රටවල් තුළ අපගේ රටේ තරම් වාහන භාවිතා වන්නේ නැහැ. භාවිතා වන වාහන අතරත් තිබෙන්නේ ඉතා පැරණි වාහන.

එසේ තිබියදී අපි කොහොමද විශ්වාස කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවකට මේ රටේ මේ වනවිට පවතින ඉන්ධන අර්බුදය විසඳන්න පුලුවන් කියලා.

පිළිතුර: ඔබ පළමුවෙන්ම කොමියුනිස්ට් ක්‍රමය ගැන ඉගෙනගත යුතුයි. ඊට පසුව ලෝකයේ තිබෙන කොමියුනිස්ට් ක්‍රම ගැන ඉගෙනගත යුතුයි.

කොමියුනිස්ට් ක්‍රමය කියලා තියන්නේ පැරණි වාහන භාවිතා කරන එක නොවෙයි. ඒක වැරදි ආකල්පයක් සහ වැරදි කියවීමක්. කොමියුනිස්ට් ක්‍රමය කියලා කියන්නේ සෑම කෙනෙකුටම සමාජය තුළින් කිසිදු අර්බුදයක් ගැටලුවක් නොමැතිව ජීවත්වීමට පුළුවන් වටපිටාවක්. එම වටපිටාව හදන එක ආණ්ඩුවේ මැදිහත්වීම සහිතව කරනවා.

ඔබට ආරංචිවෙලා තිබෙනවද මේ වනවිට උතුරු කොරියාවේ මේ රටේ වගේ වාහන පෝලිම් තිබෙන බව. ගෑස් නොමැතිව දුක් විඳින බව. මෙහෙම අර්බුදයක් තිබෙන බව. නැහැ. ඒ වගේම ඔබට ආරංචි වෙලා තිබෙනවාද කියුබාවේ ජනතාව බෙහෙත් නොමැතිව රෝහල්වල මියයන බව. ඒ වගේම ජනතාව වාහන නවතා පෝලිම්වල සිටින බව හෝ විදුලිය නොමැතිවීම නිසා ළමයින්ට අධ්‍යාපන කටයුතු කරගැනීමට නොහැකිව සිටින බව. ඒවගේම ජනතාව පාරවල් වහලා උද්ඝෝෂණ කරන බව. නැහැ.

ඒ රටවල් තමන්ට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්ති තමන්ට ගැළපෙන ලෙස ක්‍රියාත්මක කරනවා. නමුත් අපේ රටේ තිබෙන ප්‍රශ්නය තමයි අපේ රටේ ආණ්ඩු ලෝකයේ කොහෙවත් නොමැති ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. එම ගොන් තීරණ නිසා තමයි අද අපේ රටේ ජනතාව ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීලා තිබෙන්නේ. එම අර්බුදය මේ වනවිට දේශපාලන අර්බුදයක් බවට පත්වී තිබෙනවා. එම නිසා එම දේශපාලන අර්බුදය අවසන් නොකර මෙම ආර්ථික අර්බුදය අවසන් කිරීමට බැහැ. එම නිසා වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස දැන් මැදිහත්වෙමින් සිටිනවා. මේ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා තවදුරටත් කැබිනට් කුට්ටම් අන අන සෙල්ලම් දම දම ඉන්න දෙන්න හොඳ නැහැ. ආණ්ඩුව සිතනවා නම් මෙම අරගල අවසන් කරන්න පුළුවන් කියලා. එය සාර්ථක වන්නේ නැහැ. රටේ බඩු මිල උද්ධමනය 40%කින් 50%කින් වැඩිවී තිබෙනවා. තෙල් මිල 200%කින් වාඩිවෙලා ගෑස් 300%කින් වැඩිවෙලා. කිරිපිටි මිල 400%කින් වැඩිවෙලා.

මේ සියල්ල ආණ්ඩුව විසින් ගත් ගොන් ඔලමොට්ටල තීන්දු තීරණවල ප්‍රතිඵල. ඒ නිසා අද ඩොලර් රටට එන්නේ නැහැ. එම නිසා ඩොලර් ටික රටට එන ක්‍රමය හදන්නේ නැතිව රටට මෙතනින් එහාට යන්න බැහැ. ඒක මේ ආණ්ඩුවට කරන්න බැහැ. එම නිසා වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස මේ ආණ්ඩුව ගෙදර යැවීමේ ක්‍රියාවලිය අපි ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.

ප්‍රශ්නය – කියුබාව, උතුරු කොරියාව පිළිබඳව ඔබ සඳහන් කළා. අන්තර්ජාලය පරීක්‍ෂා කර බැලුවත් පැහැදිලිව පෙනෙන්න තිබෙනවා එම රටවල් තුළ ඉතා සීමිත වාහන ප්‍රමාණයක් භාවිතා කරන බව. ඒ වගේම පසුගිය කාලය තුළ කියුබාවේ ආණ්ඩුවට එරෙහිව එරට තුළ උද්ඝෝෂණ ව්‍යාපාර පැවතියා නේද?

පිළිතුර – අන්තර්ජාලයට ඡායාරූප දාන එක ඔබටත් කරන්න පුළුවන්, මටත් කරන්න පුළුවන්, ඇමරිකන්කාරයටත් පුළුවන්, කියුබාවටත් පුළුවන්. කියුබාව කියන්නේ සෞඛ්‍ය පහසුකම්වලින් ලෝකයේ තිබෙන ඉහළම රට. ඒ වගේම ඔලිම්පික් පදක්කම් ගන්නා මූලික රටවල් අතර කියුබාව හැමදාම සිටියා. නමුත් අපේ රට තිබෙනවාද? අඩුගානේ ඉන්දියාව සිටිනවාද? මානව සංවර්ධනය කියල කියන්නේ පිංතූර නොවෙයි. ඒ රටේ ජනතාව සතුටින් ද ජීවත්වන්නේ කියන එක පිංතූරවලින් කියන්න බැහැ. මේ රටේ ජනතාව වගේ කියුබාවේ ජනතාව රටින් පැනල යන්නේ නැහැ. මියාමිවලට ගියපු ජනතාවත් යළි කියුබාවට එනවා. ඒ ඇයි? ඔවුන්ට දැන් ඇමරිකාවෙන් උදව් කරන්නේ නැහැ. එම නිසා ඔබ මාධ්‍යවේදියකු ලෙස අන්තර්ජාලය ඇසුරින් ඉගෙන ගන්න යන්න එපා. ඔබ කියුබාවට යනවා නම් මීට වඩා අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.

ප්‍රශ්නය – ඉදිරි දිනවලදී වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙසත්, ජනතා විමුක්ති පෙරමුණ ලෙසත් ගැනීමට අපේක්‍ෂා කරන පියවර මොනවාද?

පිළිතුර – මේ රටේ ජනතාව මේ වනවිට මුහුණ දෙන ප්‍රශ්නය ආණ්ඩුව විසින් හදපු ප්‍රශ්නයක් මිස වෙන ප්‍රශ්නයක් නොවෙයි. මේ රට ණය කරලා කොල්ලකාලා, විනාශ කරලා තිබෙන්නේ. එම තත්ත්වය වෙනස් කිරීම සඳහා තමයි අපි මේ මැදිහත්වෙමින් සිටින්නේ.

වෘත්තීය සමිති ව්‍යාපාරය විදියට සිකුරාදා (22 දා) නියෝජිත සමුළුවක් පැවැත්වූවා. 28 වැනිදා අපි සමස්ත මහා වැඩ වර්ජනයක් කරනවා. ඒ වගේම අපි ලබන 06 වැනිදා හර්තාලයක් කරලා ආණ්ඩුවට ගෙදර යන්න කියල කියනවා. ආණ්ඩුව ගෙදර යන්නේ නැත්නම්, අපි ඉන් පසුව ආණ්ඩුව ගෙදර යනකම් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා. එම නිසා අපි ආණ්ඩුවට කියනවා ජනතාවට ඉඩ දීලා වහාම ගෙදර යන්න කියලා.

28 වැනිදා පවත්වන වැඩ වර්ජනයට සෞඛ්‍ය අංශ එකතු වන්නේ නැහැ. නමුත් ඔවුන් 28 වැනිදා පවත්වන විරෝධතාවයට එකතු වෙනවා. එදාට බෙහෙත් ගැනීම සඳහා ආරෝග්‍ය ශාලාවලට එන ජනතාවට බෙහෙත් දෙනවා. නමුත් රටේ අනෙකුත් ක්‍ෂේත්‍රවල වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙනවා. අපි එදාට විදුලිය කපන්නේ නැතිව විදුලිය දෙනවා. 28 වැනිදා අපි ගන්න ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීම සඳහා පෞද්ගලික, රාජ්‍ය සහ වතු යන සියලු අංශවල වෘත්තීය සමිතිවල සහයෝගය හිමි වී තිබෙනවා.

1953 න් පසුව මේ රටේ පවත්වන මහා හර්තාලය අපි ලබන 06 වැනිදා පවත්වනවා. අපේ රටේ වෙළෙඳ සංගම්, වානිජ්‍ය සංගම්, ත්‍රිරෝද රථ, වෘත්තීය සමිති ඒ සඳහා සහයෝගය ලබා දෙනවා. ඉන් අනතුරුවත් ආණ්ඩුව ගෙදර යන්නේ නැතිනම් අවශ්‍ය පියවර අඛණ්ඩව අපි ඉන් ඉදිරියට ගන්නවා.

මේ රට තවදුරටත් විනාශ කරන්නේ නැතිව යන්න කියන එක තමයි අපි ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු ආණ්ඩුවට කියන්නේ. ඒ වගේම සොරකම් කරපු ඒවා දීල යන්න අමතක කරන්නත් එපා කියලා අපි කියනවා. මොකද ලෝකයේ කොහේ ගියත් සොරකම් කළ දේවල් යළි ලබාගැනීමට අපි කටයුතු කරනවා. ජීවිත කාලයටම රැකියාවක් නොකර කෝටි ගණන් සැප විදිනවා. ලක්‍ෂ 350 චිත්‍රවලට රාජපක්‍ෂලා ලන්සු තියනවා. මිලියන දෙතුන් සියය වියදම් කරලා කොම්පැණි ගන්නවා. මොකද්ද රාජපක්‍ෂලා කළ රැකියාව. මොකද්ද කළ ව්‍යෘපාරය. මේ මහජන මුදල් කොල්ලකාපු ඒවා. එම නිසා ඒවාට අදාළව නීතිය ක්‍රියාත්මක වන බවත් මතක තබාගන්න කියලා අපි කියනවා.

සාකච්ඡා කළේ – එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment