මහනුවර අපරාජිතව රග්බි කිරුළ පළඳියි ද? තීරණය අනිද්දා

124

මෙරට ප්‍රමුඛතම ලීග් රග්බි පාපන්දු තරගාවලියේ ශූරයින් උදෙසා පිරිනැමෙන “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන”ට හිමිකම් කීමේ අරමුණ ඇතිව මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෝ අනිද්දා (19 දින) ප.ව.04.00 ට නිත්තවෙල ක්‍රීඩාංගණයට පිවිසෙති.

මෙවර තරගාවලියට අවතීර්ණ වෙමින් මුහුණ දුන් තරග 09 ම ජයග්‍රහණ කර ඇති මහනුවර පිල තම අපරාජිත බව සනාථ කර ගනිමින් කුසලානට අත පෙවීමට ගන්නා උත්සාහ හේතුවෙන් අනිද්දා තරගයේ වැඩි උණුසුමක් දැක ගන්නට ලැබෙනු ඇත.

මෙතෙක් පැවති තරග ආශ්‍රිතව ලකුණු 55 ක් වාර්තා කර ගනිමින් පෙරමුණ ගැනීමට මහනුවර සමත් වී සිටින අතර ජයග්‍රහණ 08 ක් සහිතව සී.ආර්. පිල රැස් කර ගෙන සිටින ලකුණු එකතුව 49 කි.

ඒ අනුව බලන විට අනිද්දා (19) සටන ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුව ද අඩු ලකුණු පරතරයකින් සී.ආර්. පිල හමුවේ පරාජය වුවද ‘නිපෝන් පේන්ට් කුසලාන’ මහනුවර ක්‍රීඩා සමාජය සතු වීම වැළැක්විය නොහැකිය.

මෙවර තරගාවලියේ තෙවන සහ සිව් වැනි ස්ථාන තීරණය කෙරෙන සටන හෙට (18) ප.ව.04.00 කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ. ඒ, හැව්ලොක්ස් සමාජය සහ නාවික හමුදාව අතර ය.

මෙතෙක් මුහුණ දුන් තරග ආශ්‍රිතව හැව්ලොක්ස් පිල ජයග්‍රහණ 04 ක් සමග ලකුණු 26 රැස් කර ගෙන සිටින අතර ජයග්‍රහණ 03 ක් සමගින් ලකුණු 21 කට නාවික හමුදාව හිමිකම් කියයි.

තරග 28 කින් සැදුම්ලත් වූ පළමු වටයේ දක්ෂතාවය මත ‘සුපිරි වටය’ සඳහා වරම් ලැබීමට මහනුවර ක්‍රීඩා සමාජය, සී.ආර් ඇන්ඩ් එෆ්. සී. සමාජය, හැව්ලොක්ස් සමාජය සහ නාවික හමුදාවට මුලින් හැකි විය.

මූලික වටය අවසානයේදී මහනුවර සමාජය ලකුණු 39, සී.ආර්. ඇන්ඩ් එෆ්. සී. ලකුණු 34, හැව්ලොක්ස් ලකුණු 25, නාවික හමුදාව ලකුණු 20 හිමිකර ගනිමින් දෙවන හා අවසන් වටයට සුදුසුකම් ලැබීය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment