මාතෘ භූමියේ සතුරන්ගේ එකම විරුද්ධවාදියා ලෙස ජාතික ජන බලවේගය තෝරාගෙන

73

ජාජබ නායක අනුර කුමාර දිසානායක කළුතර කාන්තා සමුළුව අමතමින් කියයි

රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා හවුලක් නොබෝ දිනකින්ම එනවා. රනිල් වික්‍රමසිංහට එරෙහිව අවලාද නැගූවන් පවා ඒ කණ්ඩායමට එකතු වෙනවා. නැගෙමින් එන ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරය පරාජය කරන්න තව සමහරක් එක වේදිකාවේ නොවුණාට වේදිකා දෙකක සිට එකම වැඩේ කරන්න පටන් ගන්නවා. ජනතාවගේ, මාතෘ භූමියේ සතුරන් තමන්ගේ එකම විරුද්ධවාදියා ලෙස ජාතික ජන බලවේගය තෝරාගෙන තිබෙනවා යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

හෙතෙම මේ බව පැවසුවේ පෙරේදා (28 වැනිදා) හොරණදී පැවැති ජාතික ජන බලවේගය කළුතර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානයක මහතා – අපේ රටේ වංචාවේ කෙළ පැමිණි, අපරාධවල ආරක්ෂකයන් වූ, මහජනයාගේ ධනය ප්‍රකෝටි ගණන් සොරකම් කර, ඒ හා බැඳුණු පාතාලයක් නිර්මාණය කළ, ඒ හා බැඳුණු චෞර වළල්ලක් නිර්මාණය කළ අපේ රටේ දුෂ්ටතම කඳවුරට විරුද්ධවයි අපි මේ දේශපාලන පෙළගැස්ම ඇතිකර තිබෙන්නේ. රට විනාශ කළ, ජනතාව දුකෙන් දුකට පත් කළ, පීඩාවෙන් පීඩාවට පත් කළ, විනාශකාරී කඳවුරට එරෙහිව අපි මේ කඳවුර නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා ඔවුන් බලය නිකම්ම අත්හරින්නේ නැහැ. අපි පරාජය වූ අවස්ථාවලදී පසුදා සිටම යළිත් දේශපාලනය කරමින් ආවා. ඒ ගොල්ලන් පැරදුණොත් ඔවුන්ට සියල්ලම අහිමි වෙනවා.

ඒ නිසා අවසානය දක්වා අපේ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා ඔවුන් කටයුතු කරනවා. එකතු විය හැකි ඕනෑම වර්ගයේ කණ්ඩායමක් එකට වේදිකාවට නගිනවා. රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා හවුලක් නොබෝ දිනකින්ම එනවා. රනිල් වික්‍රමසිංහට එරෙහිව අවලාද නැගූවන් පවා ඒ කණ්ඩායමට එකතු වෙනවා. නැගෙමින් එන ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරය පරාජය කරන්න තව සමහරක් එක වේදිකාවේ නොවුණාට වේදිකා දෙකක සිට එකම වැඩේ කරන්න පටන් ගන්නවා. ජනතාවගේ, මාතෘ භූමියේ සතුරන් තමන්ගේ එකම විරුද්ධවාදියා ලෙස ජාතික ජන බලවේගය තෝරාගෙන තිබෙනවා. ඒ සෑම තර්ජනයකින්ම, අවලාදයකින්ම, සතුරාගේ සෑම ක්‍රියාදාමයකින්ම අපිට තවත් ශක්තිය ධෛර්යය, සහ විශ්වාසය ගේනවා. මේ අවුරුද්දේ පරිවර්තනය සිදු කරන්න අපි සූදානම්. එය කළ හැකියි. අපේ රටේ කාන්තාව දේශපාලනික වශයෙන් සක්‍රීය නොවෙන තත්වයකට පත්කරන්න ඔවුන් හැමදාම කල්පනා කළා. ඒ වගේම කාන්තාවන් මුලාකරන්න රැවටීමට ලක්කරන්න පුළුවන් කියලා ඒ අය කල්පනා කළා. කාන්තාවන් දේශපාලනයෙන් නිෂ්ක්‍රීය කර, බබෙක් වඩාගෙන, මහ පොළොව ඉඳලා කාන්තාවන්ව රවටන්න පුළුවන් කියලා කල්පනා කළා. නමුත් අද ලංකා ඉතිහාසයේත් මැතිවරණ ඉතිහාසයේත් ප්‍රබලතම කාන්තා නැගිටීම ජාතික ජන බලවේගය හරහා සිදු කර තිබෙනවා.

බලය හුවමාරුකර ගැනීමේ ජාතික මැතිවරණයක් මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම එනවා. ආසන්න වශයෙන් මාස හතක් අටක් තුළ ගෙවෙන අපේ ජීවිත කාලයේ වැදගත්ම පරිච්ඡේදය එළඹී තිබෙනවා. අන්කවරදාටත් වඩා වැඩියෙන් අපි හැමකෙනාම ඇහුම්කන් දෙමු. අවදිවෙමු. සක්‍රීය වෙමු. සහතික වශයෙන් ජයග්‍රාහී ලෙස මේ වැඩේ නිමාකරන්න පුළුවන්. අපි දේශපාලන බලය අත්පත් කරගැනීම අවසානය නොවෙයි. මේ රට වෙනස් කිරීමේ ආරම්භයයි. පද්ධතියම කඩා වැටුණු රටක එක, දෙකකට උත්තර සොයන්න බැහැ. සියලු‍ම ක්ෂේත්‍රයන් නැවුම් අරමුණුවලින් පුරවාගෙන පරිවර්තනය කරන්න ඕනෑ. අලු‍ත් සමාජ පරිවර්තනයක් ඕනෑ. ඒ පරිවර්තනය අත්පත් කරගැනීම පුද්ගලයෙකුගේ හෝ දේශපාලන පක්ෂයක විතරක් කාර්යභාරයක් නොවෙයි. සියලු‍ ජනතාව එක හුස්මට එකට නැගිට ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කළ යුතුයි. ඒ නිසා යළි නඟා සිටුවීම මුළු ජනතාවගේම වැඩක්. ඒ වෙනුවෙන් හැමදෙනාම අවදි කර හැමදෙනාම ක්‍රියාකළ යුතුයි. පළමුව බලය අත්පත් කරගෙන, දෙවනුව රට ගොඩනැගීම සඳහා මැදිහත් විය යුතුයි. ඒ සඳහා වන නව ජාතික පිබිදීමක් අපට අවශ්‍යයි. අනාගතය පිළිබඳ සුබ සිහින ගේන නව ජනතා පිබිදීමක් අවශ්‍යයි.

මෙයට පෙර විවිධ දේශපාලන පක්ෂවලට ඔබ ඡන්දය දුන්නේ යහපත් අපේක්ෂාවන්ගෙන්. නමුත් ඒ අපේක්ෂාවන් මුළුමනින්ම විනාශ කළ පාලකයන් ඔවුන් වටා සිටින කුඩා වළල්ලක් වෙත සියලු‍ ධනය ඒකරාශී කරගෙන ඔවුන්ගේ අනාගතය නිර්මාණය කර ගත්තා. පොදු ජනයා රැවටීමට ලක්කර බලය ලබාගත් ඔවුන් හැමදාමත් සමාජයේ සියලු‍ වරප්‍රසාද භුක්ති විඳින පාලනයක් ගොඩනගුවා. අපි ආරාධනා කරන්නේ පොදු ජනයාගේ පාලනයක් පිහිටුවා සියලු‍ දෙනාගේ මැදිහත්වීමෙන් රට ගොඩනැගීම සඳහායි. බලය ගැනීම අපේ ආරම්භය බව හොඳින් අවබෝධ කරගෙන සියලු‍ දෙනාම වැඩි වැඩියෙන් ක්‍රියාකාරීව එක්වෙමු.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස,

කළුතර දිස්ත්‍රික් විධායක සභික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වජිරා පීරිස්, ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටහච්චි, ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජිකා කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සීතා බණ්ඩාර, රංගන ශිල්පිනී නයනි මහේෂිකා යන මහත්ම මහත්මීහුද කතා කළහ.

අඟුරුවාතොට මංගල ප්‍රසන්න

advertistmentadvertistment
advertistmentadvertistment