මානව අයිතිවාසිකම්හි කාන්තාවගේ හිමිකම

69

මාර්තු 08 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි.

මිනිසාට මිනිසෙකු ලෙස ජීවත්වීමට ඇති අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ලෙස සරලව හැඳින්විය හැකිය. කොලොම්බියා සරසවි විශ්වකෝෂය මානව අයිතිවාසිකම් නිර්වචනය කරනුයේ “මිනිසුන් වීම නිසා ලැබෙන්නා වූ අයිතීන් වන අතර ඒවා සිවිල් දේශපාලන සංස්කෘතික හා ආර්ථික අයිතීන් වන අතර මේවා මනුෂ්‍යයාගේ ගෞරවය මත රඳා පවතී”. මහත්මා ගාන්දි ප්‍රකාශ කරනුයේ” මානව අයිතාවාසිකම් යනු යුතුකම්” ලෙසය. කෙසේ නමුත් මානව අයිතිවාසිකම් යනු මිනිසත් බව ලැබීම හේතු කොට ගෙන පුද්ගලයෙකුට උපතින්ම ලැබෙන අයිතීන්ය. සමාජයේ සෑම පුද්ගලයෙකුටම ගෞරවයෙන් හා තමාට ජීවත්වීමට සුඳුසු වටපිටාව මානව අයිතිවාසිකම් මගින් සුරක්ෂිත කරයි.

මීට අවුරුදු 75 කට පමණ පෙර මානව අයිතිවාසිකම් නොනිමි අරගලයක ප්‍රතිඵලයක් ලෙස මානවයාට හිමි වූයේ එය ලේඛනයකට පමණක් සීමාවීමට නොවේ. මානව හිමිකම් සමානාත්මතාව, වගකීම, ප්‍රතිපෝෂණය සහ නීතියේ ආධිපත්‍යය, වැනි වැදගත් සංකල්පයන්හි වටිනාකම පුරවැසියන්ගේ අවධානයට ලක්කරයි. එසේම ස්ත්‍රී පුරුෂභාවය, තරගය, ඔවුන්ගේ පැහැය, ලිංගික දිශානතිය, ආගම, ඔවුන්ගේ උපන් රට, යනාදී කරුණු මුල්කරගනිමින් මිනිසුන් වෙන්කොට සැලකීම නොකළ යුතුය යන හිමිකම් තරයේ ප්‍රකාශ ආරක්ෂා කරයි. මානව අයිතිවාසිකම් සුරකීම අර්ථ නිරූපණය කරනු සහ සහතික කරනු පිණිස එක්සත් ජාතීන් විසින් සම්පාදිත ප්‍රධාන නෛතික ලේඛන පහක් පවතී. මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය, ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය සහ පසුව කී සම්මුතියට අදාළ වෛකල්පිත ගිවිසුම් දෙක යනුවෙනි.

මානව අයිතිවාසිකම් දිනයේදී කාන්තාව හා කාන්තාවට හිමි අයිතිවාසිකම් ඇයට ප්‍රමාණවත් ද, කොතරම දුරට කාන්තාවන් ඒ පිළිබඳව දැනුවත් ද, නොදැනුවත්භාවය හේතුවෙන් කොතරම් කාන්තා පිරිසක් පීඩාවට පත්වනවා ද, යන්න විමසා බැලීම වැදගත්ය. එපමණක් නොව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කාන්තාවට නිසි තැන ලබාදීමේ කාර්යේදී මානව අයිතිවාසිනම්වල දායකත්වය පිළිබඳව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අවබෝධයක් මෙය දිනයේදී ලබාදීම වැදගත් කාර්යය කි.

කාන්තාව කී විටම අපේ මනසට නැගෙන්නේ අපේ පවුලය. පවුලේ ගෘහ මූලිකයා පුරුෂ පාර්ශ්වයක් වුවද පවුලේ ක්‍රියාකාරීත්වය රැඳී පවතින්නේ කාන්තාවගේ කාර්යක්ෂමතාව මතය. පවුල් ඒකකය තුළ බිරිඳක් මවක දියණියක හෝ මිත්තණියක වශයෙන් කාන්තාව ඉටුකරනුයේ මිල කළ නොහැකි තරම් කාර්යයභාරයකි. කෙටියෙන් පැවසුවහොත් සමාජයේ යහපැවැත්ම සුබසිද්ධියේ උල්පත වන්නේ කාන්තාවය. එපමණක් නොව මවගේ භූමිකාවෙන් ක්‍රමයෙන් බැහැරවී ගෘහ මූලිකයාගේ කාර්යය ද නිසි ලෙස ඉටුකරන කාන්තාවන්ද සමාජයේ ජීවත් වෙයි. තම ශ්‍රම දායකත්වය පවුලට පමණක් නොව රටක ජාතික ආර්ථිකයට ලබාදෙමින් අවිවේකී බව ජීවිතයේ කොටසක් බවට පත්කරගත් කාන්තාව සමාජයට ලබාදෙන මෙහෙවර සුළුපටු නොවේ.

මානව අයිතිවාසිකම් හා කාන්තාව පිළිබඳ කතා කිරීමේදී කාන්තාවට මානව අයිතිවාසිකම් පොතට පමණක් සීමාවීම් සමාජයේ විටින් විට දක්නට ලැබේ. කාන්තාව සමාජයේ විවිධ වෙනස්කම්වලට මුහුණ දීමට සිදුවන අවස්ථා බොහෝය. ප්‍රචණ්ඩත්වයට ලක් කිරීම, විවිධ අතවරයන්ට මුහුණ දීම, විවිධ ආකාරයේ වෙනස්කොට සැලකීම්වලට ලක් වීම් එවැනි තත්ත්වයන්ට නිදසුන්ය. මීට දින දෙකකට පමණ ඉහතදී අනුරපුර ප්‍රදේශයේ 15 හැවිරිදි බාල වයස්කාර දරුරියක් බස් රියැදුරකුගේ අතින් දූෂණයට පත්වෙනව. සෑම දිනයකම මේ ආකාරයේ පුවත් කිහිපයක් වාර්තාව වීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇත. මේ අනුව කාන්තාවන්ට මෙලෙස වෙනස් කොට සැලකීමේ වර්ධනයේ අඩුවක් නොවන්නේ ලංකාවේ පවතින නීතිමය වාතාවරණයේ ලිහිල්භාවය නැතහොත් කාන්තාව තමාට හිමි අයිතීන් පිළිබඳ නොදන්නා බව නිසාද විය හැකිය.

නොයෙකුත් කාන්තා අරගලවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට සමාජයේ කාන්තාවට යම් පිළිගැනීමක් හිමි වී ඇත. ඡන්ද බලය, අධ්‍යාපනය පිළිබඳ අයිතිවාසිකම් ලැබීමත් සමඟ සමාජය තුළ යම් අයිතිවාසිකම් දිනාගැනීම සඳහා මේ වන විට ප්‍රගතිශීලී ජනසමාජවල යම් පියවර ගෙන ඇත. මේ අතරින් ශ්‍රී ලංකාව අනෙකුත් රටවලට වඩා ඉදිරියෙන් සිටී. විශේෂයෙන්ම පෙළක් රටවලට හිමි නොවන නිදහස් අධ්‍යාපනය, සෞඛය, දේශපාලනය, සංස්කෘතිකමය අයිතීන් කාන්තාවට ලැබී තිබීම සුවිශේෂීය. ඒ අනුව මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ 2 වන වගන්තිය තුළ කාන්තා අයිතීන් සුරක්ෂිත කොට ඇත.

2 වගන්තිය

“ජාති, වංශ, වර්ණ, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම් දේශපාලනය ආදී කවර බේදයක් හෝ සමාජ, ජාතික, දේපළ, උපත ආදී කවර තත්ත්වයක විශේෂයක් හෝ නොමැතිව මේ ප්‍රකාශනයේ සඳහන් සියලු හිමිකම් හා ස්වාධීනත්වයන් සෑම පුද්ගලයෙකුටම උරුම වන්නේය”.

එලෙසම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ සඳහන් අයිතීන් තව දුරටත් සුරක්ෂිත කිරීමේ අදහසින් කාන්තාව සමාජයේ විශේෂ අවධානයකට යොමු විය යුතු කණ්ඩායමක් ලෙස සලකා කාන්තාවන්ට එරෙහි සියලු ම ආකාරයේ වෙනස්කම් කිරීම තුරන් කිරීම පිළිබඳ සම්මුතිය (CEDAW) සම්මත කරගනු ලැබීය. ශ්‍රී ලංකාව 1981 දී මෙම සම්මුතියට අත්සන් තබා පිළිගෙන ඇත. මානව හිමිකම් භුක්ති විඳීමේදී කාන්තාවන්ට එරෙහිව සිදු වන සියලු ආකාරයේ වෙනස්කම් සමාජය තුළින් තුරන් කිරීම මෙම සම්මුතියේ මූලික අරමුණ වේ. එක්සත් ජාතීන් විසින් 1979 දෙසැම්බර් 18 දින මෙම සම්මුතිය සම්මත කරනු ලැබිණි. 1981 සැප්තැම්බර් 03 දින සිට මෙම සම්මුතිය ක්‍රියාත්මක විය. මෙම සම්මුතියේ තුන්වන වගන්තිය තුළින් නැවත නැවතත් කාන්තාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සුරක්ෂිත කර ඇත.

3 වන වගන්තිව.

“පාර්ශ්වකාර රාජ්‍යයන් සියලු ම ක්ෂේත්‍රයන්හි, විශේෂයෙන් දේශපාලන, සමාජයීය, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් හි පුරුෂයින් හා සමතාවය මත පදනම් වූ අයිතිවාසිකම් හා මූලික නිදහස භුක්ති විඳීම සහ පිළිපැදීම සහතික කිරීම සඳහා ස්ත්‍රීන්ගේ සම්පූර්ණ දියුණුව හා ප්‍රගතිය සහතික කිරීමට අවශ්‍ය නීති සම්පාදනය ඇතුළු සියලු ම ක්‍රියා මාර්ග ගනු ඇත”.

මෙම සම්මුතිය යටතේ කාන්තාවට හිමි අයිතීන් කොටස් කිහිපයක් යටතේ පෙළගස්වා ඇත. කාන්තාවන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්, පවුල් ඒකකය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම්, අධ්‍යාපනයට හා පුහුණුවීමට ඇති අයිතිය, ආර්ථික කටයුතු හා එහි ප්‍රතිලාභවලට ඇති අයිතිය, සමාජ වෙනස්කම්වලින් ආරක්ෂා වීමේ අයිතිය කාන්තාවට හිමිවිය යුතුය යන්න මෙම සම්මුතියේ පැහැදිලිව දක්වා ඇත. මේ අනුව නීතිමය හා අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙතරම් ස්ථාවර වී තිබෙන සමාජයක තව තවත් ඔවුන්ගේ අයිතිවාසිකම් කඩ කිරීම සුදුසු නොවේ. කාන්තාවන්ට තමාට හිමි අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් තිබේ. ඒවාට හිමිකම ලබානොදෙන්නන්ට විරුද්ධව නීතිමය පියවර ගතයුතුය. කාන්තාවට එම බලය තිබේ. එවගේම මෙලෙස කාන්තාවන්ට වෙන් වූ අයිතිවාසිනම් තිබුණ ද එම අයිතීන් පිළිබඳ නොදන්නා පිරිසක්ද ජීවත් වෙති. නමුත් එලෙස නොදන්නා පිරිසක් ලෙස ජීවත්වීම තමාට මෙන්ම සමාජයටම කරන මහා අපරාධයකි. තමාට හිමි අයිතීන් පිළිබඳ තමාට පවතින අවබෝධය ගෞරවයෙන් යුතුව ජීවත්වීමට පුද්ගලයාට ඇති ශක්තියකි.

සත්‍යාංජලී ජයසිංහ
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment