මිරිහාන පොලිසියෙන් කියා අනුරාධපුරදී මරංචි ජාවාරම්කරුවන් 4ක් පැහැරගෙන

127

මිරිහාන පොලිසියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ලෙස රංගනයක යෙදෙමින් අනුරාධපුර පානියන්කඩවල ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකු පැහැර ගෙන ගොස් පහරදී, ලක්ෂ 31කට අධික මුදල් සහ රන් භාණ්ඩ පැහැර ගෙන ගිය සංවිධානාත්මක කොල්ල කල්ලියක තිදෙනකු මුදලින් රුපියල් හැත්තෑ දහසක් සහ මෝටර් රථයක් සමග පෙරේදා (23 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 33, 38 සහ 40 වියේ පසුවන අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය සහ අනුරාධපුර දේවානම්පියතිස්සපුර ප්‍රදේශවල පදිංචි තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය පවසයි.

පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයන් සිව්දෙනා කාලයක් තිස්සේ අනුරාධපුර ප්‍රදේශයේ ‘මරංචි’ ජාවාරමේ නිරතවූවන් බවත්, ඔවුන් පුරාවිද්‍යා වටිනාකමක් ඇති නිධානවලින් ලබා ගත් රත්තරන් කාසි යැයි පවසමින්, පිටස්තර පුද්ගලයන්ට ව්‍යාජ ලෝහ කැබලි විකුණා මහා පරිමාණයෙන් මුදල් උපයා ඇති බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මිරිහාන පොලිසියේ නිලධාරීන් බව පවසමින් මරංචිවලට සම්බන්ධ මෙම පුද්ගලයන් සිව් දෙනා පැහැර ගැනීමෙන් අනතුරුව ඔවුන් දඹුල්ලේදී සිදුකළ ලක්ෂ 20ක මරංචියේ විමර්ශන කටයුතු සඳහා තමන් මිරිහාන පොලිසියේ සිට පැමිණ සිටින බවත් වංචා කළ ලක්ෂ 20 ලබා දෙන ලෙසත් පවසමින් මෙම කොල්ලකෑම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේය. සැකකරුවන් විසින් පැහැරගත් පුද්ගලයන් සිව්දෙනාට මුහුණු බැඳ පහරදී ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ කැලෑවකට රැගෙන ගොස් ඔවුන් පැළඳ සිටි රුපියල් 9,67,000ක රන් භාණ්ඩ ගලවා ගෙන, රුපියල් 21,90,000ක්, පැහැර ගැනීමට ලක්වූ අයගේ බිරින්දෑවරුන් මාර්ගයෙන් අනුරාධපුර නගරයට ගෙන්වා ගෙන්වා ගෙන ඇති බව වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. පැහැරගත් සිව්දෙනා සැකකරුවන් විසින් ශාවස්තිපුර ප්‍රදේශයේදීම මුදා හැර ඇති අතර පැය භාගයකින් පසුව දෑස් ආවරණ ගලවා ඉවත් කර ගන්නා ලෙසද ඔවුන්ට පවසා ඇතැයි පොලිසිය කීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රජිත ශ්‍රී දමින්ද, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර. පො. ප. චමින්ද ගුණසේකර පො. සැ. බණ්ඩාර (48317), පො. සැ. නිශාන් (61406), පො. කො. රාජරත්න (66934), අබේරත්න (2138), පො. රි. උද්දික (33661) නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.
මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment