මෙවන් අර්බුදයන්ට මුහුණ දුන් රටවල් මෙතරම් ඉක්මනින් ඔළුව උස්සලා නැහැ – අගමැති දිනේෂ් ගුණවර්ධන

97

රාජ්‍ය සේවයෙන් විශාල ප්‍රමාණයක් අයින් කරන්න කියලා යෝජනා ආවත් අපි ඒක කළේ නැතැයි පසුගිය 3 දා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ‘අලුත් ගමක් – අලුත් රටක්’ ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනනේ දී අගමැතිවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසීය. දැවැන්ත මුදල් අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දුන්නා. අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර සහයෝගය සහ මිත්‍රත්වය අවශ්‍ය වී තිබෙනවා. මෙවන් අර්බුදයන්ට මුහුණ දුන් රටවල් මේ තරම් ඉක්මනින් ආපහු ඔලුව උස්සල නැහැ. මට හමුවෙන හැම විදේශීය ප්‍රධානියෙක්ම කියන්නේ අපි ශ්‍රී ලංකාව ගැන ආඩම්බරයි කියලයි.

අපි අපේ රටේ ගොවි ජනතාව ගැන ආඩම්බරයි. මුළු ලෝකයම ආහාර අර්බුදය මුහුණ දෙනකොට අපේ ගොවි ජනතාව තමන්ට තිබුණු ප්‍රශ්න මැද වුණත් ගොවිබිම්වලට ගිහිල්ලා හොඳ අස්වැන්නක් ලබා දුන්නා. ගොවිබිම්වල අඩුපාඩුකම් මගහරවාගෙන ඕනෑකම් පිරිමහගෙන වඩාත් ඵලදායී තත්වයට ගෙන ඒම අත්‍යවශ්‍යයි.

මුදල් අර්බුදය මැද තිබුණු තත්ත්වයන්ගෙන් ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමට අද ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා. විශ්වාසය මත තමයි ආර්ථිකය යළි ලියලන්නට පුළුවන් තත්වයකට ගෙන ඒමට හැකි වුණේ. අමතක කරන්නට එපා බැංකු ගනුදෙනු ජාත්‍යන්තරව නැවතුනා. මෙවැනි ජාත්‍යන්තර ගැටලුවකට මුහුණ දීමට සිදුවීම පිළිබඳ සියලුදෙනාට තේරුම් ගැනීම දුෂ්කර වුණත් රාජ්‍ය පාලකයන් තේරුම් ගන්න ඕනේ. දිසාපතිවරුන්, පළාත් සභා නිලධාරීන්, ප්‍රාදේශීය සභා නිලධාරීන් ඇතුළු පහළට සියලු රාජ්‍ය සේවකයන් මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගත යුතුයි.

වෙල්ලස්ස භූමිය අපේ රටේ නිදහසේ දෝංකාරයයි. අතීතය සිහිපත් වෙන මේ භූමියට අපේ රටේ හැම ආණ්ඩුවක්ම ණයයි. ගමේ සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා ඇතිකරන ආහාර සුරක්ෂිතතාව හා ඒ හා සම්බන්ධිත ක්ෂේත්‍ර ගණනාවකට මුලපුරන ගමනක්. ආහාරයෙන් අප ස්වංපෝෂිත වෙනවා කියන්නේ ඩොලර් යොදා ආහාර ගෙන ඒම නවතිනවා. රුපියලෙන් ආහාර නිෂ්පාදනය කරනවා. එයට මීට වඩා අංක ගණිතයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකි වීමේ ගැටලු රාශියක් පවතිනවා. මේ ප්‍රදේශවල වගාවන් සිදු කරන අයට ඉඩම් ලබාදීමේ කටයුතු ඉක්මනින් අවසන් කළ යුතුව තිබෙනවා. ඔප්පු තිරප්පු උඩ ගනුදෙනු කරන යුගයක් අපට තිබුණේ නැහැ. ඔප්පු කියන දේ සුදු ආණ්ඩුව අපට පුරුදු කළ දේ මිසක් අතීතයේ තිබුණෙ නැහැ. ඔප්පු සමග විවිධ ඉඩම් නීති සුදු ආණ්ඩුව පැනෙව්වා. ඒ පනවපු නීති නිසා අද වෙල්ලස්සේ ජීවත් වන විශාල පිරිසක් අපහසුතාවයට පත්ව තිබෙනවා.

මේ රටේ අඩුම ආදායම් ලබන ජනතාව වෙනුවෙන් දෙන සහනය නවතින්න බැහැ. ගැටුමක් ඇති කරන්න මේක හොඳම වෙලාව කියලා සමහර අය හිතන්න ඇති. ගැටුමක් ඇති කරන්න අවශ්‍ය නැහැ. මානුෂිකව කල්පනා කරන්න ඕනේ. අපේ රටේ අඩුම ආදායම් ලබන ජන කොට්ඨාසයට ලබා දෙන මේ සහනය ඉක්මනින් ලබාදීම සහ ඒ ප්‍රමාණය වැඩි කර දීම සඳහා වූ උත්සාහයකයි මේ යෙදෙන්නේ. පවතින ගැටලු නිරාකරණය කරගනිමින් මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රාජ්‍ය නිලධාරීන් හැටියට වගකීම ඉටු කරන්න.

රාජ්‍ය සේවයේ විශාල ප්‍රමාණයක් සේවයෙන් මුදා හරින්න, අයින් කරන්න කියලා විවිධ යෝජනා ආවා. අපි ඒක කළේ නැහැ. අපිට මේ අමාරු තත්ත්වයෙන් රට ගොඩ ගන්න ඕනේ. අපිට විශ්වාසය තියෙන මිත්‍ර රටවල් වගේම දේශීයව අප සියලු දෙනා අත්වැල් බැඳගෙන සැලැස්මකට ගමන් කළොත් අපට ආහාරවලින් ස්වයංපෝෂිත තත්ත්වයට එන්න පුළුවන්.

ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කන්දඋඩ පංගුවේ සුධම්ම හිමි, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය ඇමැතිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාරසිරි රත්නායක, යදාමිණී ගුණවර්ධන, ධර්මසේන විජේසිංහ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක, මොණරාගල දිස්ත්‍රික් ලේකම් එස්. බී. රත්නායක ජනාධිපති උපදේශක බී .එම්. එස්. බටගොඩ ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment