දරුවන්ගේ කුස ගිනි නිවන්න කොස් ගසට නැග්ග සිව් දරු මව ගසින් වැටී මරුට

582

දරුවන්ගේ කුස ගිනි නිවීමට ගෙවත්තේ කොස් ගසකින් ගෙඩියක් කැඩීමට උත්සාහ කළ සිව් දරු මවක් ගසින් වැටී මියගොස් ඇති බව ගම්පොල රෝහල් හදිසි මරණ පරීක්ෂක නලීන් ඒ. මැදිවක මහතා ඉදිරියේ පැවති මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ නාරංවිට බණ්ඩාරවත්ත පදිංචි බෝපාවිට ගෙදර ශාන්ති කුමාරී නමැති පනස් හැවිරිදි සිව් දරු මවකි.

ඇයට ගැහැනු දරුවන්ම සිව් දෙනකු සිටින අතර ඉන් තිදෙනකු ම පාසල් යන්න උන්ය.

ඇගේ සැමියා පිරිසිදු කරන පුද්ගලික ආයතනයක කම්කරුවකු ලෙස සේවය කරන අතර මියගිය තැනැත්තියට රැකියාවක් නොමැති බවද අනාවරණය විය.

සැමියා උපයන සුළු ආදායම පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් නොවීම නිසා පාසල් ළමුන්ගේ උපකරණ සැපයීම, ආහාර සපයා ගැනීම, බෙහෙත් ගැනීම ආදී කාර්යයන් ඉටු කර ගැනීමේදී අසීරු තත්ත්වයක මොවුන් සිට ඇත.

බොහෝ ආහාර වේල් සපයා ගැනීම සඳහා කොස් පොළොස් සොයා ගැනීම මෙම මව විසින් සිදුකර ඇති අතර පසුගිය 10 දින ද ඇය ඒ අනුව දහවල් ආහාර වේල සකසා ගැනීමට උත්සාහ කරමින් සිට ඇත.

නිවස අසල කොස් ගසේ ගෙඩියක් තිබෙනු දැක එය කඩා ගැනීමට ඇය විවිධ උත්සාහයන් දරා ඇත. දිගු රිටකට පිහියක් බැන්ද ද එයට වඩා උසින් කොස් ගෙඩිය තිබෙන නිසා ඒ දේ ඉටුකර ගැනීමට නොහැකි වී තිබේ. ඇය කොස් ගස අසල ඇති සාදික්කා ගසට නැඟ මෙම ගෙඩිය කැඩීම උත්සාහ කර ඇත.

සියලු උත්සාහයන් දැරුවද එය අසාර්ථක වුවද දරුවන්ගේ කුස ගිනි ගැන සිතූ ඇය කොස්ගෙඩිය කැඩීමට ගසට නැග තිබේ.

ඒ සමඟ ලොකු ශබ්දයක් ඇසී දරුවන් ගස අසලට පැමිණෙන විට ඇය ගස ළඟ වැටී සිටින බව දැක ගම්වාසීන්ගේ සහාය ලබාගෙන ඇය ගම්පොල රෝහලට රැගෙනවිත් ඇත.

දින පහක් පමණ ඇය රෝහලේ ප්‍රතිකාර ලැබූව ද අවසානයේ සියලු දුක් අතහැර ඇය ජීවිත ගමනින් නික්ම ගියාය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ගම්පොල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අමිල ද මෙල් මහතා සඳහන් කර තිබුණේ ගසින් වැටී හිස වැදීමෙන් මොළයට රුධිර එක්වීම නිසා මෙම මරණය සිදුව ඇති බවයි.

මෙහිදී මියගිය අයගේ දරුවකු, ඇගේ සහෝදරයකු සහ සැමියා සාක්ෂි ලබාදී තිබුණි.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment