යතුරුපැදිය නවතා තිබූ ලොරියක වැදී තෙහැවිරිදි දැරිය මරුට

368

මවට බරපතළ තුවාල

තෙහැවිරිදි තම එකම දියණිය තබාගෙන මව පදවාගෙන ගිය ස්කුටි වර්ගයේ යතුරුපැදිය වෙළෙඳ සැලක් ඉදිරියේ නවතා තිබූ ලොරි රථයක ගැටීම නිසා 22 හැවිරිදි මව හා දැරිය බරපතළ තුවාල ලබා තිබේ. මොවුන් දෙදෙනා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිය (27 දා) මරුමුවට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මින්නේරිය රත්මලේ රොටවැව පදිංචි අලහකෝන් මුදියන්සේලාගේ දම්සලී නමැති තෙහැවිරිදි දැරියකි. මින්නේරිය රත්මලේ පදිංචි මව හා දියණිය ඉකුත් (26 දා) දහවල් අවශ්‍යතාවකට රත්මලේ කඩ මණ්ඩියට යන අතරවාරයේ එය ඉදිරිපස නවතා තිබූ භාණ්ඩ බෙදා හරින ලොරියේ පසු පස වැදී දැරිය මහ පාරට ඇද වැටී කාන්තාව යතුරු පැදියේ සිරවී තිබිණි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂාන් ද සිල්වා මහතාගේ මගපෙන්වීම මත මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමනවීර මහතාගේ උපදෙස් මත මින්නේරිය පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂක සමන් දයානන්ද සැරයන් විඡේකෝන් (36983) යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මින්නේරිය – සුජිත් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment