වසර 125ක් පිරෙන මාතර ශාන්ත සර්වේසස් විදුහල් මාතාව

203

මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලයේ පුරා වසර 125 ක ස්වර්ණමය ඉතිහාසය දෙස ආපසු හැරී බලන්නට ඉතාමත් උචිත මොහොතක් උදාවී ඇතැයි සිතමු. එහි ඉතිහාසය හාරා අවුස්සා බලන විට ප්‍රීතියත්, ශෝකයත් එකසේම අප හදතුළ ජනිතවන බව පෙනේ. මෙවන් ශ්‍රේෂ්ඨ විද්‍යායතනයක් එක්වරම පහළ නොවීය. ඉතා සුළුවෙන් ආරම්භ වී ක්‍රමයෙන් වැඩි දියුණු වී ගිය බවට අතීතය සාක්ෂි දරයි. ඉතාම දුෂ්කර එහෙත් රසවත් අතීතයක් අප විදුහලට ඇත. එවන් දයාබර අතීතයක් අමතක කරන්නට තරම් වත්මනෙහි වූවෝ කෙලෙහිගුණ නොතකන්නෝ නොවෙති. මාතර නගරයට සෞභාග්‍යයත් අලංකාරයත් ගෙනදෙන නිල්වලා නදිය අද මෙන්ම මින් 125 වසරකට පෙර ද සාන්තව නිසංසලව ගලා බසිමින් සාන්ත සර්වේසයේ අමරණීය ඉතිහාසය නිර්මාණය වනු අකම්පිතව බලා සිටින්නට ඇත.

1897 නොවැම්බර් 02 දින නිල්වලා නදිය අසබඩ පල්ලිමුල්ලේ මඩ වගුරු සහිත භූමි භාගයක සාන්ත සර්වේසස් නමින් පුංචි පාසලක් ආරම්භ විය. මාතර නගරයේ පිහිටුවන ලද ප්‍රථම කතෝලික පාසලවීමේ ගෞරවය ද දිනා ගත්තේ මෙම පුංචි පාසලයි. එදා විවෘත කිරීමේ මංගල උළෙලට සහභාගිවීමේ භාග්‍යය හිමිකර ගත්තාහු පොලිදෝර් සහෝදර තුමාණෝය. එතුමා එම ඓතිහාසික අවස්ථාව සදා සිහිකර ගනුවස් සිය තෙලිතුඩින් ඇඳි රූ සටහන අද ජීවත් වන අයට එදා තත්ත්වය යන්තමින් හෝ සිහිගැන්වීමට සමත් වූ බව එතුමාණන්ට කරනු ලබන ගෞරවයක් වශයෙන් මතකයට නැංවිය යුතුය. එදා මේ ශ්‍රේෂ්ඨ විද්‍යාලයය බිහිකිරීමේ ලා මුල් වූවන් අතර අප සැමදෙනාගේ සදානුස්මරණීය ගෞරවයට භාජනය විය යුතු නාමය බෙල්ජියම් ජාතික ස්ටැන්ඩර්ත් පියතුමාණෝය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ආලෝකය පැතිරවීමේ සත් ව්‍යාපාරයට සහාය වූ ශ්‍රේෂ්ඨ බෙල්ජියම් ජාතික පින්වත්හු සාන්ත සර්වේසස් සඳාකාලික ගෞරවයට භාජනය වූයේ, ඔවුන් විසින් එකතුකොට එවන ලද ෆෑන්ක් 80000 පමණ මුදලය. මෙම විද්‍යාලය ආරම්භ කිරීමේදී ස්ටෑන්ඩර්ත් පියතුමාට අනන්ත බාධක හා කරදරවලට මුහුණදීමට සිදුවිය.

ඉන්පසුව සාන්ත සර්වේසයේ රැකවරණයට පැමිණියේ කීර්තිමත් ඇඩොල්ෆස්ට් ක්ලෙයසට් පියතුමාය. බෙලිජියම් භූමියේ ශ්‍රේෂ්ඨත්වයත් පූජකයකු සතු ඉවසීමත් දයාවත් හදතුළ රඳවා ශ්‍රි ලංකාවට පැමිණි එතුමාණන්ගේ වැදගත්ම කාර්යය වූයේ ශ්‍රේෂ්ඨ පාලකයෙකුගෙන් වන්නා වූ සාන්ත සර්වේසස් සිය රැකවරණය වෙත පවරා ගැනීමයි. උන්වහන්සේ පාසල වෙනත් ඉඩකඩ ඇති තැනකට ගෙනයෑමට ක්‍රියාකළ සේක. ඒ සඳහා ප්‍රාදේශීය වශයෙන් ආධාර ලබාගැනීමට අපහසු බැව් දුටු උන්වහන්සේ මුලින් සඳහන් කළ ආධාරය ලබාගෙන දැනට විද්‍යාලය පිහිටා ඇති භූමි භාගය වෙත 1906 වර්ෂයේදී ගෙන එන ලදී. ඒ සඳහා එතුමාණන්ට සහාය වූ රෝලන්ද පියතුමාගේ

නාමය ද සදානුස්මරණීය බව කෘතගුණ පූර්වකව සඳහන් කළ යුතුය. ගොඩනැඟිලි සඳහා ගෘහ නිර්මාණ ශිල්පීය කටයුතු කළ රෝලන්ද පියතුමා මෙම විද්‍යාලය සඳහා අගනා සේවයක් කරන ලදී. ක්ලොසට් පියතුමා විද්‍යාලය ගැන මෙසේ සඳහන් කරයි. 1901 දී මා වගකීම් භාරගන්නා විට පාසල දියුණු වෙමින් පැවතුණේය. පන්ති කාමර 08 ක් වූ අතර ගුරුවරු තිදෙනෙක් එහි නිරතව සිටියහ. එතුමාණන් ගුරුවරයකු වශයෙන් පෙන්වූ දස්කම් නිසාම ශීඝ්‍රයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව දියුණු විය. මේ සමයේම එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ වශයෙන් සේවය කළ හාවර්ඩ් මහතාණන් විද්‍යාලයට පැමිණ විද්‍යාලයේ අධ්‍යාපනික තත්ත්වයත්, ගුරු මඬුල්ලේ දක්ෂතාවයනුත් ඉමහත් පැසසුමට ලක්කළ බවට පාසල් ඉතිහාසය සාක්ෂි දරයි.

ශ්‍රී ලංකාවේ රන් අකුරෙන් ලියැවුණු රුහුණෙහි විද්වතුනට තෝතැන්නක් වූ මාතර නගරයේ ඉපැරණි විදුහල්වලින් අද්වීතිය ස්ථානයක වැජඹෙන සාන්ත සර්වේසස් විදුහලට 125 වසරක් පිරෙන මේ ඓතිහාසික මොහොතෙහි ඒ කීර්තිමත් අතීතය දෙස හැරී බැලීම වැදගත් වනු ඇතැයි සිතමි. ක්‍රි.ව. 1897 නොවැම්බර් 02 වැනිදා මාතර සුප්‍රසිද්ධ නිල්වලා නදිය අසබඩ ස්ටැන්ඩර්ත් පියතුමා විසින් සාන්ත සර්වේසස් විද්‍යාලය කුඩා ගොඩනැඟිල්ලක ආරම්භ කළ අතර 1906 දී කොටුවේගොඩ දැන් පිහිටි ස්ථානයට විද්‍යාලය ගෙන එන ලදී. ඉන්පසුව මෙම විද්‍යාලය අතිශයින්ම කාර්යක්ෂම අතිශූර ශ්‍රේෂ්ඨ විදුහල්පතිවරුන්ගේ සෙවණ යටතේ විශාල දියුණුවක් ලබා අධ්‍යාපන, ක්‍රීඩා, විනය ආදී සෑම අංශයකින්ම උසස් තත්ත්වයකට පත්විය. එවැනි කීර්තිමත් ගුරුවරුන් අතර ජේ. කුක්මන්, කේ.ජී. විලියම් යන මහත්වරු හා ජෝෂප් රාජපක්ෂ පියතුමාත් විශේෂයෙන්ම සිහි කටයුත්තෝ වෙති.

1945 සිට 1965 දක්වා විදුහල්පති වශයෙන් සේවය කළේ ජෝෂප් රාජපක්ෂ පියතුමාය. ජෝෂප් රාජපක්ෂ පියතුමා අසහාය පුද්ගලයකු වශයෙන් ක්‍රියාකළේය. එතුමා තුළ පැවති අසහාය නායකත්වය බුද්ධියේ අයෝමයත් කාර්යශූරත්වයත් ස්වර්ණමය කාල පරිච්ඡේදයක් ලෙස අපට හැඳින්විය හැකිය. එතුමා විසින් රුපියල් ලක්ෂ 02කට ආසන්න මුදලක් වියදම් කරමින් ඉදිකරන ලද අලංකාර මන්දිරය එනම් ජෝෂප් රාජපක්ෂ ගොඩනැඟිල්ල එතුමාගේ

උත්කෘෂ්ඨ සේවය කියාපාන මහා සිහිවටනයකි. 1965 වර්ෂයේදී සාන්ත සර්වේසය රජයට පවරා ගන්නා ලදින් අප විද්‍යාලයීය ඉතිහාසයේ එක් යුගයක අවසානයත්, අලුත් යුගයක් ආරම්භයත් අපට දක්නට ලැබේ. එහෙත් උදාවූ නව යුගය පෙර යුගයේ පැවැති ශ්‍රී විභූතියට සමකරන්නට නොහැකි වූ බව හදපිරි සොවින් මේ අවස්ථාවේදී සිහිපත් කළ යුත්තෙමු.

අඳුරු කාල පරිච්ඡේදයක් උදා වූ මෙම යුගයේදී විද්‍යාලයීය නම් පවා සමහරුන්ට අශුභ ශබ්දයක් බවට පත්වූ බව සමහරු කියති. විද්‍යාලයීය ආදර්ශ පාඨය වන මෙය ලතින් භාෂාවෙන් සකස් වූවකි. මෙහි ඉංග්‍රීසි අර්ථය .ඊැ ් ඵ්බ. යනුවෙන් දැක්විය හැකිය. ‘මිනිසෙකු වන්න’ සිංහලයට පරිවර්තනය වූ විට කියැවේ. මිනිසකු වීම අපහසු කාර්යයකි. ඒ සඳහා අපමණ වෙහෙස දැරිය යුතුය. විද්‍යාතනයකින් කළ යුතු ඉතාම වැදගත් කාර්යය මිනිසුන් තැනීමයි, ශ්‍රේෂ්ඨ මිනිසුන් තැනීමයි. උත්තරීතර මිනිසුන් තැනීම කීර්තිමත් මිනිසුන් තැනීමයි. ගුණගරුක මිනිසුන් තැනීමයි. සාන්ත සර්වේසය එම කාර්යය සඳහා සදාකල්හිම ඇප කැපවී සිටින බවට සාක්ෂියකි ඉහත දැක්වූ ආදර්ශ පාඨය. එදාමෙදා තුර සිටි විදුහල්පතිවරුද, ගුරුභවතුන්ද, දෙමව්පියන්ද, දරුවන්ද විදුහල බැබළවීමට සමත් වූහ. වසර 125 හදබැඳි ශාන්ත සර්වේසස් අප විදුහල් මාතාවනි ඔබගේ නාමය සදා රැව්දේවා.

කරුණා සුගත් සෙනෙවිරත්න
ගඟමිණි ප්‍රජා සංවර්ධන පදනම

advertistmentadvertistment
advertistmentadvertistment