යුගාත්‍රා 20 වැනිදා සිට තිරයට

571

ප්‍රවීණ රංගධරයකු සේම නිර්මාණශීලී නිර්මාණකරුවකු වන චන්න පෙරේරා රිදී තිරයට ගෙන එන ඔහුගේ නවතම සිනමා නිර්මාණය යුගාත්‍රා එළැඹෙන 20 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල් රැසක තිරගත කිරීමට නියමිතය. ඔහු මෙයට ප්‍රථම අංජලිකා (2006) , කල්පාන්තෙ සිහිනයක් (2014) යන සිනමාපට තිරයට ගෙන ආ අතර, සිහින අනන්තේ සහ එකයි දෙකයි තුනයි චිත්‍රපට යුගළය ඉදිරියේ දී තිරගත වීමට නියමිතව ඇත. තිර පිටපත් රචකයකු ලෙසින් ද කටයුතු කරන චන්න පෙරේරා පුංචි වීරයෝ, වස්සානේ හිරු ඇවිදින්, සඳදිය අරණ හා ටිකිරි හපන්නු යන ටෙලිනාට්‍ය නිර්මාණයන් පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයන්ට තිලිණ කිරීමට ද සමත්ව ඇත.

රාජකාරී කටයුත්තක් සඳහා මධ්‍යම කඳුකරය වෙත ගමන් ගන්නා විහඟගේ සිත තමන් කලක පටන් දකින සිහිනයක් පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් තම සමීප හිතවතියක වන අමායා සමග කළ කතාබහ සිහියට නැඟෙයි. වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා පාළු ප්‍රදේශයක අතරමං වූ විහඟ , රාත්‍රිය ගත කිරීම සඳහා හුදකලාව තිබූ පැරණි බංගලාවක් වෙත පිවිසෙයි. එදින එහි නවාතැන් හිමිවන විහඟ තමන් නිතර සිහිනෙන් දුටු නාදුනන යුවතියගේ ඡායාරූප එම නිවසේ තිබෙණු දැක මවිතයට පත් වේ. සමාධි නැමැති එහි වෙසෙන යුවතිය හා විහඟ පෙමින් බැඳේ. රාජකාරිය පසකලා විහඟ එහි නවතී. විහඟව සොයා අමායා ද එම බංගලාවට පැමිණේ. එම බංගලාවේ සිටින ගොලු මෙහෙකරුවකු වූ මාර්ටින් , විහඟ එහි රැඳී සිටීම නුරුස්සයි. ඔය අතරතුර බංගලාව හිමිකාරියගේ සමීපතමයකු වන විලී නම් වියපත් පුද්ගලයකු ද එහි පැමිණේ. මෙහිදී සිදුවන සිදුවීම් පිළිබඳව විහඟ මහත් කුතුහලයට පත් වන අතර , විහඟගේ තේරුම් ගත නොහැකි හැසිරීම් රටාව අමායා ද පුදුමයටත් කලකිරීමටත් පත් කරවයි. බංගලාවට පසුව පැමිණි විලී ද අමායා දැක කලබලයට පත්වෙයි. මෙම සිදුවීම්වලින් අනතුරුව බංගලාව තුළ හා ඒ අවට නොසිතූ විරූ සිදුවීම් රැසක් ඇති වීමට පටන් ගනී. සිදුවන විපර්යාසයන් පිළිබඳව රහසිගතව සෙවීමට විහඟ සහ අමායා උත්සාහ දරයි. අනපේක්ෂිත සිදුවීම් සහ ගැටලු රැසකට මුහුණ දෙන ඔවුනට එම අභිරහස සොයාගැනීමට හැකි වෙයි. ඒ කුමක් දැයි විමසිලිමත් වන පාඨක ප්‍රේක්ෂක ඔබගේ කුතුහලය යුගාත්‍රා නැරඹීමෙන් පසුව විසඳෙනු ඇත.

චන්න පෙරේරා , අසංකි ද සිල්වා , මාෂි සිරිවර්ධන , නදීකා ගුණසේකර , සනත් ගුණතිලක , ලක්ෂ්මන් මෙන්ඩිස්, මර්වින් පෙරේරා යුගාත්‍රා චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වේ. මෙහි තිර රචනය සහ අධ්‍යක්ෂණය චන්න පෙරේරා ගෙනි. නිෂ්පාදනයන ඉසුරු විජේසිංහ, ශ්‍රියාණි සේනානායක, ජානක එදිරිසුරිය, වසන්ත පෙරේරා , ආචාර්ය ජයන්ත ධර්මදාස විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment