රටට අහිමි කළ පංච මහා බලවේගයේ පහන් සිළුව

1126

දිවංගත එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක තම ආදරනීය සැමියාගේ දේහයට බුහුමන් පුදන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. පුත් අනුර ද ඇය අසළ වෙති

හෙටට යෙදෙන 62 වන ගුණසමරුව නිමිත්තෙනි.

පොදු ජනතාව අතරින් මතුවන ජන නායකයන්, ජනතාවගේ මහත් ආදර ගෞරවයට පාත‍්‍රව අකාලයේ ඝාතනය වී වියෝවීම අතීතයේ පටන් ලෝක දේශපාලන ඉතිහාසය තුළ සිදුවන්නක් බව විශ්ලේෂණය කරන අයකුට පෙනී යන කරුණකි. මහත්මා ගාන්ධි” ජොන්. එෆ්. කෙනඩි” එබ‍්‍රහම් ලින්කන් වැනි නායකයන් මරණයට පත්වූයේ එවැනි සාහසිකයන්ගේ වෙඩි පහරිනි. සමාජ ආර්ථික සහ දේශපාලනමය අතින් අනුපමේය සේවාවක් ශ‍්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිදු කළ එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක අග‍්‍රාමාත්‍යතුමාට ද සාහසිකයකුගේ වෙඩි උණ්ඩයකට බිලිවී ජීවිතයෙන් සමුගන්නට වූයේ ආසියාවේ රිදී සීනුව සදාතනිකව නිහඬ කරවමිනි.

ඒ එතුමා අග‍්‍රමාත්‍යවරයා ලෙස පත් වී ගෙවී ගිය සිව් වැනි වසරයි” එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ලබාගත් ආණ්ඩු කාලය තුළ ශ‍්‍රී ලංකාවට කළ යුතු වෙනස්කම් රාශියක් සිතේ රැුඳී තිබිණි‘

ශූර කථිකත්වය නිසාම ආසියාවේ රිදී සීනුව ලෙසින් හැඳින්වූ තමා අතින් ජනතාවට ඉටු විය යුතු යුතුකම් රාශියක් තිබෙන බව ඔහු නිතරම සිහි තබා ගත්තේය.

නමුත් කිසිවකුත් නොසිතූ ලෙස ශ‍්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔහු විසින් සැලසුම් කළ බොහෝ දේ තිබියදී නොසිතූ මොහොතක මෙළොව හැරදමා යන්නට සිදු වූයේ සාහසික චීවරදාරියකුගේ වෙඩි පහරක් හේතුවෙනි.

රටට අහිමි කළ පංච මහා බලවේගයේ පහන් සිළුව
බණ්ඩාරනායක අගමැතිතුමා තම සේයාරුවක් මත අත්සන තබා ඇති අවස්ථාවක්

වර්ෂ 1959 සැප්තම්බර් මස 26 වැනිදාට එළිය වැටෙන්නේ මහා ශෝචනීය පුවතක් රැුගෙන බව නොදත් ශ‍්‍රී ලංකා වැසියෝ සුපුරුදු ලෙස සිය වැඩ අරඹද්දී අග‍්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතාද රොස්මිඞ් පෙදෙසේ සිය නිවසට වී වැඩ කටයුතු කරගෙන ගියේ කළ යුතු වැඩ කටයුතු රාශියක් මෙන්ම ඔහු හමුවට පැමිණෙන සියල්ලගේම දුක් ගැනවිලිවලට ඇහුම්කම්දෙමින් අතිශය කාර්යබහුල වෙමිනි.

ඔහු හමුවට පැමිණි ජනකාය අතරේ උන් එක් බෞද්ධ භික්ෂුවක් කිසිදු බාධාවකින් තොරවම ඔහු අසලට පැමිණියේ චීවරයධාරියකු නිසාවෙන් කිසිඳු පරීක්ෂාවකට ලක් නොවෙමිනි.

නමුත් බෞද්ධ චීවරධාරියකු ලෙස ඒ ආකාරයෙන් අග‍්‍රමාත්‍යතුමා අසලට පැමිණි තල්දූවේ සෝමාරාම නම් එකී භික්ෂුව තම සිවුරේ සගවා ගෙන සිටි රිවෝල්වරයකින් අග‍්‍රමාත්‍ය බණ්ඩාරනායක මහතාට වෙඩි තැබුවේ අවට සිටි කිසිවකුටවත් සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳව වටහා ගැනීමටවත් ඉඩක් නොතබමින්.

එසැනින් එතුමාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර මෙරට දක්ෂ වෛද්‍යවරුන් සියල්ලම පාහේ එකතු වී පැය 6 ක් පුරාවට සිදු කළ ශෛල්‍ය කර්මයකින්ද අනතුරුව බණ්ඩාරනායක ශ‍්‍රීමතණෝ ඉන් පහුවදා (සැප්තැම්බර් මස 26 වනදා) සදහටම දෑස් පියාගත්තේ ශ‍්‍රී ලංකාවාසීන් ශෝකයේ ගිල්වමිනි.

මේ ගෙවී යන්නේ අග‍්‍රමාත්‍ය බණ්ඩාරනායකන් ඝාතනය වී ගෙවී යන 62 වර්ෂයයි. බි‍්‍රතාන්‍ය පාලනය යටතේ තිබූ ශ‍්‍රී ලංකාවේ විසූ ප‍්‍රභූ පවුලක් වූ මහා මුදාලියාර් ශ‍්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක හා ඬේසි එස්ලින් ඔබේසේකර දෙපළට දාව බණ්ඩාරනායක උරුමය රැගෙන වර්ෂ 1899 ජනවාරි මස 8 වැනිදා උපත ලැබූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ළදරුවාට එවකට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරූ රිජ්වේ ආණ්ඩුකාරවරයාගේ නම තබන ලද්දේ ඔහුගේ පියා විසිනි.

ගාල්ල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ පසුව උසස් අධ්‍යාපනය පිණිස එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයයට ඇතුළත් වන තරුණ බණ්ඩාරනායක නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නේ 1925 වසරේදී යි ඒ බොහෝ ඉදිරිගාමී අදහස් ඇති තරුණයකු ලෙසයි.

ලංකාවට පැමිණි පසු” ඉතාමත් කෙටි කාලයක් නීතීඥවරයෙක් ලෙස කටයුතු කළ ඔහු” 1926 වර්ෂයේ ලංකා ජාතික සංගමයේ ලේකම්වරයා බවට පත් වීමත් සමග” ඔහුගේ දේශපාලන ගමන ක‍්‍රමයෙන් ආරම්භ වනවා.

එම වසරේදීම ජාති හිතෛෂී පක්ෂයේ සභාපතිවරයා ලෙස තේරී පත් වන ඔහු ඉන් අනතුරුව බොහෝ ජාතික සංවිධාන සමග එක් වෙමින් සිය දේශපාලන ගමනේ මූලාරම්භය ලබාගනු ලබනවා.

දීර්ඝ වූ දේශපාලන ගමනේ අවසන රටේ මුල් පුටුවට පා තැබූ එතුමා එහි ආරම්භය ලබා ගන්නේ නිට්ටඹුව ග‍්‍රාම කමිටුවේ සභාපති ලෙස තේරී පත් වෙමිනුයි.

කෙසේ වෙතත් 1926 වර්ෂයේ දී ලංකා ජාතික කොංග‍්‍රසයේ ලේකම් බවට පත් වූ අතර එම වසරේම දෙසැම්බර් මස පැවති කොළඹ නාගරික මැතිවරණයේදී මරදාන කොට්ඨාසය වෙනුවෙන් කම්කරු පක්ෂයේ නායකයා වුණු ඒ. ඊ. ගුණසිංහට විරුද්ධව සටන් කර ගුණසිංහ මහතාට වඩා වැඩි ඡුන්ද 615 ක් ලබා ගෙන ජයග‍්‍රහණය කළේ සියලූ දෙනාම මවිත කරමින්.

මරදාන වැනි නගරබද කම්කරු ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප‍්‍රදේශයකට සටන් වදිමින් බණ්ඩාරනායක වැනි රදළයකුට ජයග‍්‍රහණ කළ නොහැකියි යනුවෙන් බොහෝ දෙනා සිතුවත් ගෙයක් ගෙයක් පාසා යමින් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළ බණ්ඩාරනායක එහිදී පහසු ජයක් ලැබුණා.

එලෙස නාගරික මන්ත‍්‍රීවරයෙක් ලෙස මෙරට ප‍්‍රධාන ධාරාවේ දේශපාලනයට එක්වූ එතුමා ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ වලින් පසුව හිමිවූ සර්ව ජන ඡුන්ද බලයෙන් පසුව පැවති රාජ්‍ය මන්ත‍්‍රණ සභා ඡුන්දයේදී වේයන්ගොඩ ආසනයෙන් තරග වැදී නිතරගයෙන්ම රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරී පත් වූයේය.

එලෙස නාගරික මන්ත‍්‍රීවරයෙක් ලෙස මෙරට ප‍්‍රධාන ධාරාවේ දේශපාලනයට එක්වූ එතුමා ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ වලින් පසුව හිමිවූ සර්ව ජන ඡුන්ද බලයෙන් පසුව පැවති රාජ්‍ය මන්ත‍්‍රණ සභා ඡන්දයේදී වේයන්ගොඩ ආසනයෙන් තරග වැදී නිතරගයෙන්ම රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරී පත් වූයේය.

මෙරට ප‍්‍රථම රාජ්‍ය මන්ත‍්‍රණ සභාව තුළ ක‍්‍රියාකාරී දේශපාලනයක නියැළුනු ඔහු ඒ තුළ ප‍්‍රගතිශීලි අදහස් ඉදිරිපත් කරමින් මෙරටට පූර්ණ නිදහස ලැබීමට නම් රාජ්‍ය නිලධාරීන් තිදෙනා සභාවෙන් පිටමං කළ යුතු බව මෙන්ම ඔවුන්ගේ ධුර අහෝසි කළ යුතු බවටත් ප‍්‍රකාශ කරනු ලැබිණි.

ඉන් නොනැවතී කථානායකවරයාගේ වැටුප රුපියල දක්වා අඩු කළ යුතු බවද කියා සිටි ඔහු” 1931 වර්ෂයේ ලංකා ජාතික සභාවේ සභාපති ධුරයට පත්වූයේ” එවකට එම ධුරයට පත් වූ ලාබාලම තැනැත්තා වෙමින් ය.

භේද භින්න වී සිටින සිංහල ජාතිය සමගි කොට ජාතිමාමකත්වය වර්ධනය කරමින් ජාතික නිදහස් අරගලයට සවියක් ලබාදීමට අරමුණ කොටගෙන” 1934 වර්ෂයේ දී එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායකගේ

සභාපතිත්වයෙන් යුතුව සිංහල මහා සභාව ආරම්භ වූ අතර කල් යත්ම එය දීප ව්‍යාප්ත ශාඛා ලෙස වර්ධනය වූවා.

පසු කලෙක එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක අවස්ථාවට අතිවිශාල සංවිධානයක් ලෙස රැස් වීමට තරම් සිංහල මහ සභාව ප‍්‍රභල වී තිබූ අතර එහිදී එක්සත් ජාතික පක්ෂය හා සිංහල මහා සභාව එක්වීම සම්බන්ධයෙන් ඇතැම් වියත් උද්ගලයන්ගේ විරෝධතා පැන නැගුන නමුත් බණ්ඩාරනායක මහතා විසින් ඊට ප‍්‍රතිචාර දක්වමින් ජාතික නිදහස උදෙසාත් බි‍්‍රතාන්‍යයන් හඳුන්වාදෙන පාර්ලිමේන්තු ක‍්‍රමය අනුව ඒකාබද්ධ පක්ෂයක් ඇතිකරලීම උදෙසාත් එසේ ක‍්‍රියා කළ බව ප‍්‍රකාශ කර සිටියේය.

1936 වර්ෂයේදී නැවත දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවටත් වේයන්ගොඩ ආසනයෙන් නිතරගයෙන් තේරී පත් වූ බණ්ඩාරනායක මහතා එතනින් නොනැවතී දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ පළාත් පාලන කාරක සභාවේ සභාපති ධුරයටත් නිතරගයෙන් තේරී පත් වූයේය.

එමෙන්ම දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභා අමාත්‍ය මණ්ඩලය තුළ සිටි ලාබාලම අමාත්‍යවරයා ඔහු පසුකලෙක රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සභානායක ධුරයේ වැඩ බැලීම සඳහා තෝරා පත්කර ගත් අතර” එහිදී විශාල කාර්යයන් රැසක් සිදු කළේය.

1948 ලැබූ ඩොමීනියන් නිදහසෙන් පසුව පවති පළමු මහ මතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ බණ්ඩාරනායක මහතා අත්තනගල්ල ආසනයෙන් තරග වැදී තම ප‍්‍රතිවාදියා වූ සී. ගුණසේකරව පරදා වැඩි ඡන්ද 26854 කින් මෙරට ප‍්‍රථම කැබිනට් මණ්ඩලයට තේරී පත් වූයේය.

ඞී. ඇස්. සේනානායක රජයේ සෞඛ්‍යය සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙසින් තේරී පත්වුණු ඔහු සෞඛ්‍යය සේවය වෙනුවෙන් විසල් මෙහෙයක් ඉටු කළ අතර” මෙරට පාර්ලිමේන්තුවේ මුල්ම සිංහල කථාව කළ මහජන නියෝජිතයා වූවේද ඔහුයි.

කල් යත්ම එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ රජය සිංහල මහා සභාව බලාපොරොත්තු වුණු ආකාරයේ ගමනක් නොයන බව වටහා ගත් ඔහු විසින්” සිංහල මහා සභාවේ මාදම්පේ සම්මේලනයේ දී සම්මත කරගත් යෝජනා මාලාවක් අගමැති වෙත ඉදිරිපත් කළ නමුත් අගමැතිගෙන් ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු නිසාවෙන් 1951 වසරේ ජූලි 12 වැනිදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නට යෙදුණි.

පසුව 1951 වර්ෂයේ සැප්තැම්බර් 2 වැනිදා ශ‍්‍රීමත් එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාට සහාය පළ කරමින්” නව සංවිධානයක් පිහිටුවා ගැනීම සඳහා 44 දෙනකුගෙන් යුක්ත වූ කණ්ඩායමක් කොළඹ නගර ශාලාවට එක්වූ අතර” එහි දී ආරම්භ වූ මංගල සැසිවාරයේදී එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී එච්. ශ‍්‍රී නිශ්ශංක මහතා විසින් එම නව සංවිධානයට ”ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය” නමින් තැබීමත් සමග මෙරට දේශපාලනය උඩු යටිකුරු කරමින් එහි අනාගත ගමන් මඟ තීරණය කරන ප‍්‍රධාන සාධකයක ආගමනය සිදුවිය.

නව පක්ෂය පිහිටවාගෙන මාස 7ක් ගතවන විට මැතිවරණයකට මුහුණ දුන් බණ්ඩාරනායක මහතා එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 9ක් ජයග‍්‍රහණය කරවීමට සමත් වූ අතර අත්තනගල්ල ආසනය වැඩි ඡුන්ද 32544කින් ජයග‍්‍රහණය කරමින් ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් විය.

එතෙක් කාලයක් එක්සත් ජාතික පක්ෂයට තිබූ මෙරට දේශපාලන බලය වෙනස් වෙන ළකුණු පෙන්වමින් 1955 සැප්තැම්බර් 24 දින බණ්ඩාරනායක මහතාගේ නායකත්වය සහිතව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය නිතරග ගිවිසුමක් ඇතිකර ගත් අතර” 1955 දෙසැම්බර් 17 වන දින සිංහල බස මෙරට රාජ්‍ය භාෂාව වශයෙන් පත්විය යුතු බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවක දී සම්මත කරගන්නට යෙදුණි.

එමෙන්ම සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුයි යනුවෙන්” එක්සත් භික්ෂු පෙරමුණ විසින් ඉදිරිපත් කළ ”දස පනත” බණ්ඩාරනායක මහතා විසින් පිළිගනු ලැබූ අතර එහිදී තම ආණ්ඩුවක් මගින් එය ඉටු කරන බවටත් ප‍්‍රතිඥා ලබා දුනි.

එලෙස භාෂා ප‍්‍රශ්නය මෙරට ජනතාව ඉදිරියට පැමිණි හේතුවෙන් 1956 පමණ වන විට සිංහල භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුයි යන මතය වර්ධනය වෙමින් පැවතුණු අතර” ඒ වන විට බණ්ඩාරනායක මහතා මෙරට දේශපාලනය තුළ පෙරළිකාරයකු ජනතා ප‍්‍රසාදය දිනා ගනිමින් සිටියේය.

පසුව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් බණ්ඩාරනායක මහතා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධානීත්වයෙන් 1956 වර්ෂයේ පෙබරවාරි 21 වැනිදා ”මහජන එක්සත් පෙරමුණ” පිහිටුවාගනු ලැබීය.

1956 වසරේ පැවති මහා මැතිවරණයෙන් බණ්ඩාරනායක මහතා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙරට පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය ලබා ගත්තේ ශ‍්‍රී ලංකාව තුළ ”පොදු ජන යුගයක්” ඇති කරමින්.

විශාල ජනවරමකින් අත්තනගලූ ආසනය වැඩි ඡන්ද 41997 කින් ජයග‍්‍රහණය කරමින් මෙරට අග‍්‍රමාත්‍ය ධුරයට පත් වූ බණ්ඩාරනායක ශ‍්‍රීමතානන් සමස්ත ජන ප‍්‍රජාවටම සුවිශාල මෙහෙයක් ඉටුකළ අතර ඔහු විසින් එදා ගන්නා තීරණවල යහපත් ප‍්‍රතිඵල අදටද අප විසින් භුක්ති විඳිනු ලැබේ.

ඒ අතර පුද්ගලික බස් ව්‍යාපාරය ජනසතු කර ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටවීම වරාය ජනසතු කිරීම කිරීම, සේවක අර්ථසාධක අරමුදල ඇති කිරීම රාජ්‍ය ව්‍යවසායයෙහි ප‍්‍රමුඛතාවය පිළිගැනීම, ජාත්‍යන්තර කම්කරු දිනය වූ මැයි 1 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ද්‍රවිඩ භාෂාව විශේෂ විධිවිධාන පනත මගින් ආරක්ෂා කිරීමm ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීම, කම්කරු අණපනත් සංශෝධනය කිරීම, නව රාජ්‍ය සංස්ථා ආරම්භ කිරීම, ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වූ විදේශීය හමුදා කඳවුරු ඉවත් කිරීම, ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් ඇති කිරීම වැනි කරුණු වඩාත් කැපී පෙනෙයි.

මිනිිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි යන එතුමාගේ උදාර සංකල්පයයි. නමුත් අද වන විට ජරාජීර්ණව ඇති දේශපාලන නිසා මෙම උතුම් ඔවදන අප සියල්ලන්ගේම මතකයෙන් ගිලිහී යාදෝයි සැක සහිතය. එ නිසා එය වදනකට පමණක් සීමා නොවී ක‍්‍රියාවෙන් ද රකිමින් කටයුතු කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම රටට ආදරය කරන සියලූ පුරවැසියන්ගේ යුතුකම හා වගකීම බව සිහි තබා ගැනීම එතුමාගේ ගුණ අනුස්මරණය කරමින් සිහි තබා ගත යුතුය.

නීතිඥ දයාසිරි ජයසේකර
මහ ලේකම් – ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය

advertistmentadvertistment
advertistmentadvertistment