රටේ ආර්ථික ඝාතනයක් කර තිබේ නම් වගකිවයුත්තන් හඳුනා ගැනීමට පරීක්‍ෂණයක් කළ යුතුයි – මහ බැංකු අධිපති

164

රටේ උත්තරීතර ව්‍යවස්ථාවද උල්ලංඝනය කරමින් යමෙකු ආර්ථික ඝාතනයක් කර ඇත්නම් ඊට වගකිවයුත්තන් හඳුනා ගැනීමට සම්පූර්ණ පරීක්‍ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (25 දා) පැවසීය.

රටේ ව්‍යවස්ථාවට පටහැනි ලෙස එලෙස හානිකර අන්දමින් හිටපු ජනාධිපති එවක මුදල් ඇමැති හෝ මහ බැංකුවේ බලධාරීන් කටයුතු කර තිබේද යන්න ගැන සෙවීමට කරන ඕනෑම පරීක්‍ෂණයකට තම සම්පූර්ණ සහය දෙන බවද ඔහු කීවේය.

එවැනි විනිශ්චයක් ලබා ගැනීමට ප්‍රචණ්ඩත්වය ආයුධයක් කර ගැනීම අනුමත කළ නොහැකි බවත් යුක්තිය පතා අවසන් විනිශ්චයක් ලබා ගැනීමට රටේ ඉහළම උසාවිය වන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ගැනීමට සැමට අයිතිය ඇති බවත් ඔහු කීවේය.

විවාදාත්මක ‘බදු’ හා ‘ලීසිං’ පිළිබඳ කාරණාවලදීද පුරවැසියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ලබා ගැනීමට හැකියාව තිබියදී ප්‍රචණ්ඩත්වයට පෙළඹීම කනගාටුදායක බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.

දිවයින මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත ‘ආර්ථික ඝාතනය ග්‍රන්ථය’ එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පොත් ප්‍රදර්ශන භූමියේ පැවති අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්වෙමින් හෙතෙම මේ බව කීවේය.
නෝමන් පළිහවඩන ඡයාරූපය සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment