මාස 8ට කෝටි දහනව දහසක රන්බඩු උකස් කරලා – පවුල් ලක්ෂ 11ක් ගෙදර බඩුමුට්ටු විකුණලා

368

වසන්ත සමරසිංහ

මේ වසරේ ගෙවීගිය මාස 08 ක කාලය තුළ රුපියල් කෝටි 19,000 ක රන් භාණ්ඩ උකස් කර ඇති බව සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (25 දා) පැවසීය.

ජනතාවට ජීවත්වීමට නොහැකි නිසා නිවෙස්වල තිබූ මාරු කාසි මුදල් කැට ලක්ෂ 05 කට වැඩි ප්‍රමාණයක් බැංකුවලට රැගෙන ගොස් ඇති බවත්, පවුල් ලක්ෂ 11 ක් නිවසේ තිබූ භාණ්ඩ විකුණා ඇති බව එම සමීක්ෂණයෙන් හෙළි වී ඇති බවත් කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසන්ත සමරසිංහ මහතා කියා සිටියේය.

මෙරට පෞද්ගලික, රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වතු, විශ්‍රාමික ඇතුළු සියලුම අංශවල ජනතාව ජීවත් වීමේ දැඩි අර්බුදයකට මුහුණදී සිටින අතර එයට යම් සහනයක් ලබාගැනීම සඳහා රුපියල් 20,000 ක දීමනාවක් ඉල්ලා ආපසු නොහැරෙන විරෝධතාවක් ආරම්භ කරන බවත් ඒ මහතා කීය.

මේ වනවිට දරුවන් ලක්ෂ 02 ක් පාසල් නොයන බවත් උසස් පෙළ හදාරන සිසුන් සතියට දින තුනක් පාසල් නොයන තත්ත්වයට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.

සාමාන්‍ය ආකාරයට රාජ්‍ය සේවකයන් මාසිකව රුපියල් 40,000 – 45,000 ක වැටුපක් ද පෞද්ගලික අංශයේ සේවකයන් රුපියල් 30,000 ක්, වතු සේවකයන් රුපියල් 20,000 ක්, විශ්‍රාමිකයන් රුපියල් 27,000 ක් වැනි වැටුපක් ලබන බවත් එවැනි වැටුපක් ලබාගෙන ජීවත් වන්නේ කෙසේද යන්න සිතා බලන ලෙසත් ඒ මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව කොළඹින් පිට සිවුදෙනකුගෙන් යුත් පවුලක මාසිකව ජීවත්වීම සඳහා රුපියල් 102,000 ක් වැයවන බවත් කොළඹ සිවුදෙනකුගෙන් යුත් පවුලකට මාසිකව ජීවත් වීමට රුපියල් 144,000 ක් අවශ්‍ය බව ප්‍රකාශ කර ඇති බවත් සමරසිංහ මහතා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment