රන්මිණිතන්නේ බූරු පොළට පොලිසියෙන් වෙඩි – පිටියම සුද්දයි – අයෙකුට තුවාලයි

611

ගිනි අවිය ඉබේ පත්තු වෙලා – තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති
තුවාලෙට බෙහෙත් දාන්න කියද්දිත් රෝහලට අරගෙන ගියේ පැය එකහමාරකට පස්සේ – තුවාලකරු

තිස්සමහාරාම රන්මිණිතන්න පාසල් මාවතේ පිහිටි බූරුපොළකට ඊයේ (31දා) අලු‍යම 12.40 ට කඩා වැදුණු පොලිසිය සතු වූ ගිනි අවියක් අහඹු ලෙස ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකුට වෙඩි වැදී ඇතැයි තිස්සමහාරාම පොලිසිය කියයි. වෙඩි වැදුණු පුද්ගලයා තුවාල ලබා දෙබරවාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇත.

සිද්ධිය ඇසින් දුටු බූරු පොළේ සිටි පුද්ගලයින් සඳහන් කළේ ඈත සිට වෙඩි තබමින් කඩා වැදුණු පොලිස් නිලධාරියෙකු බූරුපොළේ බීමත්ව වාඩිවී සිටි පුද්ගලයෙකුට වෙඩි තැබූ බවය. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ රන්මිණිතැන්න පදිංචි එච්.කේ. රුවන් කුමාර යන විසිහත් හැවිරිදි එක් දරු පියෙකි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා තිස්සමහාරාම පොලිසිය තුළ පැයක් රඳවා ගෙන සිට ඇති බව හම්බන්තොට රෝහලෙන් කළ විමසීමකදී සඳහන් කළේය. උරහිස ප්‍රදේශයට වෙඩි පහරවල් දෙකක් ඇතුළුවී ඇති අතර සැත්කමකට භාජනය කිරීමට නියමිත බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

තුවාල ලබා රෝහල්ගතව සිටින රුවන් කුමාර මෙසේ කීය. “මම පොඩ්ඩක් බීල හිටියේ. වෙඩි තියාගෙන පොලිසියෙන් පනින කොට අනිත් හැමෝම දිව්වා. මට දුවා ගන්න බැරි වුණා. දුවගෙන ආපු රාළහාමි කෙනෙක් මට වෙඩි තිව්වා මගේ උරහිස්ට වෙඩි වැදුණා. කැට දෙකක් මගේ ශරීරය ඇතුලෙ දැන් තියෙනවා. තුවාලේ වේදනයි කියල බෙහෙත් දාන්න කියද්දිත් පොලිසියෙන් මාව රෝහලට අරගෙන ගියේ පැය එකහමාරකට පස්සේ… ”යනුවෙන් සඳහන් කළේය.

මේ පිළිබඳව තිස්සමහාරාම පොලිසියේ ස්ථානාධිපති මනෝහර යසස් කුඩාගොඩගේ ගෙන් කළ විමසීමකදී සඳහන් කළේ බූරුපොළ වටලන අවස්ථාවේ නිලධාරියකු සතුව තිබූ ගිනි අවියක් ඉබේට ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. වෙඩි වැදුණු පුද්ගලයා බීමත්ව සිටි අතර ඔහු හැකි ඉක්මනින් රෝහල් ගත කිරීමට කටයුතු කළ බවද සඳහන් කළේය.

තිස්සමහාරාම – අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු

advertistmentadvertistment
advertistmentadvertistment