රැස්වීම් සහ සංගීත සංදර්ශනවලට ගෝල්ෆේස් තහනම්

138

ආගමික උත්සවවලට පමණයි: කැබිනට්ටුව තීරණය කරයි

මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි ස්ථානයක් බවට පත්කරමින් කොළඹ ගාලු මුවදොර පිටිය හෙට (20 වැනිදා) සිට සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් ආදී වශයෙන් මහජනතාව විශාල වශයෙන් රැස්වෙන කටයුතු සඳහා ලබා නොදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය පෙරේදා (17 වැනිදා) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව ඉදිරියේදී ගාලු මුවදොර පිටියේ පැවැත්වීමට අවසර හිමි වන්නේ ආගමික උත්සව පමණි. ආගමික උත්සව හැර වෙනත් පරිබාහිර කිසිදු උත්සවයක් එහි පැවැත්වීමට අවසර නොලැබේ.

ගාලු මුවදොර පිටියේ සුන්දරත්වය ආරක්‍ෂා කරගනිමින් එයට සිදුවන හානි වළක්වා ගැනීමේ පියවරක් ලෙස කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට වරාය අධිකාරිය මගින් භාරගෙන ඇති අතර දැනටමත් සිදුකර ඇති සංවර්ධන කටයුතු වෙනුවෙන් වරාය අධිකාරිය වැයකර ඇති මුදල රුපියල් මිලියන 220 කි. එහිදී රුපියල් මිලියන 6.6 ක්ම වැය කර ඇත්තේ පසුගිය අරගල කාලයේ ගාලු මුවදොර පිටියට සිදුවූ දේපළ හානි අලුත්වැඩියා කිරීමට බව රජය සඳහන් කරයි.

අරගල සමයේ අතිවිශාල පිරිසක් ගාලු මුවදොර පිටියේ කූඩාරම් ඉදිකර ගෙන මාස තුනකට අධික කාලයක් අඛණ්ඩව රැඳී සිටිමින් විරෝධතා උද්ඝෝෂණවල යෙදී සිටියහ.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment